24/03/2025
අධික ලෙස හිසකෙස් ගැලවී යාම නිසා ඔබත් පීඩාවට පත් වෙලාද?නිරෝගී හෙටක් ලිපි මාලාවේ පස්වන ලිපිය මඟින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ, අධික ලෙස හිසකෙස් ගැලවී යාම පිළිබඳවයි.
හිස පීරීමේදී, ස්නානය කිරීමේදී, ඔබ නිදාගන්නා කොට්ටය මත හිසකෙස් කිහිපයක් ගැලවී තිබීම සාමාන්‍ය තත්ත්වයක්. දිනකට සාමාන්‍යයෙන් කෙස්ගස් 50ත් 100ත් අතර සංඛ්‍යාවක් ගැලවී යන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණකි. එමනිසා අධික ලෙස හිසකෙස් ගැලවී යාම ලෙස අදහස් කරන්නෙ මෙම ප්‍රමාණය ඉක්මවා හිසකෙස් ගැලවී යාමයි.
කෙස්ගස සෑදී ඇත්තේ කෙරටීන් නම් ප්‍රෝටීනයකිනි. එමෙන්ම මෙම කෙස්ගස වර්ධන අවධි තුනක් පසු කරමින් වර්ධනය වේ.
පළමුවන අවධිය වර්ධක අවධියයි. මෙය වසර ගණනාවක් පුරා පවතී. මෙම කාලයේදී කෙස්ගසෙහි වර්ධනය සිදු වේ.
දෙවන අවධිය සංක්‍රාන්ති අවධියයි. මෙය සති කිහිපයක් පුරා පවතී. මෙම අවධියේදී මුලින් පැවති කෙස්ගසෙහි වර්ධන වේගය අඩුවීමක් සිදු වේ.
අවසන් අවධිය අක්‍රීය අවධියයි. මෙය මාස කිහිපයක් පුරා පවතී. මෙම කාලයේදී කේශ මූලය හැකිලීමක් සිදු වේ.
අධික ලෙස හිසකෙස් ගැලවී යාමට හේතු,
1)පරම්පරාවෙන් උරුම වූ හිසකෙස් ගැලවී යාම.
මේ සඳහා පිරිමි අයගේ තට්ටය පෑදීම හොඳම උදාහරණයකි. මෙහිදී පළමුව හිස මුදුනේ තට්ටය පෑදීම සිදුවේ. කාන්තාවන්ගේ මෙම තත්වයේදී හිසකෙස් තුනී වීම පළමුව දක්නට ලැබේ.
2)වයස්ගත වීම.
වයස්ගත වීමත් සමග හිසකෙස් වර්ධනය වීම මන්දගාමී වීම නිසා හිසෙහි හිසකෙස් අඩුවීමක් දක්නට ලැබේ.
3)දරු ප්‍රසූතියෙන් පසු.
සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසු අධික ලෙස හිසකෙස් ගැලවී යාමක් දක්නට ලැබේ. මෙයට හේතුව ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම අඩු වීමයි. මෙය තාවකාලික තත්ත්වයක් වන අතර ස්වභාවික ලෙස යථා තත්ත්වයට පත් වේ.
4)ඇතැම් ඖෂධ සහ ප්‍රතිකාර.
ඇතැම් ඖෂධ වල අතුරු ආබාධයක් ලෙස හිසකෙස් ගැලවී යාම සිදු විය හැක. එවැනි ඖෂධ වලට උදාහරණය ලෙස,
කුරුලෑ සඳහා භාවිතා කරන ඖෂධ
දිලීරනාශක
විෂාදනාශක
විකිරණ ප්‍රතිකාර
5)මානසික ආතතිය.
ශාරීරික හා මානසික ආතතිය නිසා හිසකෙස් ගැලවී යාම අධික විය හැක. තවද හිසකෙස් ගැලවී යාම නිසා ආතතියකට ලක් වීමෙන් තවදුරටත් හිසකෙස් ගැලවී යාම අධික විය හැක.
6)පෝෂණ ඌණතාවය.
යකඩ, විටමින් වැනි අත්‍යාවශ්‍ය පෝෂක වල ඌණතාවයන් නිසා හිසකෙස් ගැලවී යාම අධික විය හැක.
7)හෝර්මෝන වල වෙනස්වීම.
බොහෝවිට කාන්තාවන්ට මෙම තත්ත්වය බලපානු ලැබේ. ගර්භණී භාවය, දරු ප්‍රසූතිය, ආර්තවාභාවය, උපත් පාලන ඖෂධ භාවිතය වැනි හේතු නිසා හිසකෙස් ගැලවී යාම සිදුවිය හැක.
තවද කාන්තාවන්ට ඇති වන රෝග තත්ත්වයක් වන PCOS(Polycystic Ovarian Syndrome) නිසා හෝර්මෝන අසමතුලිතතාවයක් ඇති වේ. මේ නිසාද හිසකෙස් තුනී වීම, හිසකෙස් ගැලවී යාම සිදු වේ. නමුත් මෙම රෝගයේදී තවත් බොහෝ රෝග ලක්ෂණ ඇති බැවින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ.
8)රාත්‍රී නිදිවැරීම, දුම් පානය, රාත්‍රී කාලයේ ස්නානය කිරීම වැනි අහිතකර පුරුදු මෙන්ම අධිකව හිරු එළියට හා දූවිලි වලට නිරාවරණය වීමද හිසකෙස් අධිකව ගැලවී යාමට හේතු වේ.
9)නිතර අධික රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පූ, සබන් වර්ග භාවිතය, නිතර හිසකෙස් සේදීම, රසායනික කේශාලංකරණ නිතර සිදු කිරීමද හිසකෙස් ගැලවී යාමට හේතු වේ.
10)තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ආබාධ.
මෙම තත්ත්ව වලදී අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.
11)හිසෙහි සම ආසාදනයට ලක්වීම නිසා හිසකෙස් ගැලවී යාම අධික වේ.
හිසකෙස් ගැලවී යාම පාලනය කිරීමට;
🔹සමතුලිත ආහාර වේලක් ලබාගැනීම.
🔹ශාරීරික හා මානසික ආතතිය අවම වන ක්‍රියාකාරකම් වල යෙදීම.
🔹හිස් කබල හා හිසකෙස් සඳහා තෙල් සත්කාර සිදු කිරීම.
🔹කෘත්‍රිම කේශාලංකරණ භාවිතය අවම කිරීම හා හිසකෙස් සේදීමට ඖෂධීය ෂැම්පූ, කන්ඩිෂනර් භාවිතය.
🔹ෂැම්පූ, කන්ඩිෂනර් යොදා නිතර හිසකෙස් සේදීමෙන් වැළකීම.
🔹අහිතකර පුරුදු වලින් ඉවත් වීම.
🔹ස්නානය සඳහා උණුසුම් ජලය භාවිතයෙන් හා හිසකෙස් වියළීමට උණුසුම් වායුධාරා භාවිතයෙන් වැළකීම.
🔹තෙත හිසකෙස් පීරීමෙන් වැළකීම.
🔹සුවදායී නින්දක් ලබාගැනීම.
තවද හිසකෙස් අධිකව ගැලවී යාම යම්කිසි රෝගයක රෝග ලක්ෂණයක් වීමටද හැකි බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වී සුදුසු වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු වේ.
සටහන
Dr.Takeshi Ranepura
BAMS (University of Colombo)
Dip. in Panchakarma
Certificate in Ayurveda Beauty Product Manufacturing (IICA)
Abhikhya Ayurveda Medical Center
Contact : 071 385 5087
Email : [email protected]