26/10/2025
කම්පවාත රෝගය - Parkinson
ආයුබෝවන්!
දෛනිකව අපේ ජීවිතය රඳා පවතින්නේ අප හැසිරෙන ආකාරය, එදිනෙදා කටයුතු එලදායීව ක්රියාශීලීව ඉටු කරන ආකාරය, නිරෝගීකම වැනි සාධක මත නේ...!
යම් රෝගයක් නිසා ඔබගේ අත් පා අනවශ්ය ලෙස වෙව්ලන්නේ නම්, නිසි ලෙස ක්රියා නොවේ නම් හෝ සීමා සහිතව ක්රියා කරන්නේ නම්, ඔබගේ චලන ක්රියා සාමාන්යයටත් වඩා මන්දගාමී වේ නම්, කුමක් සිදුවේද?
අපිට අපේ ජීවිතයේ ප්රගතියක් ගැන සිතාගත හැකිවේද?
ජීවිතයම එක් තැනක නතර වූවාක් මෙන් දැනේවි.
🔸 Parkinson (පාකින්සන්) නැතිනම් Parkinsonism ලෙස බටහිර වෛද්ය විද්යාවේ හඳුන්වන මෙම රෝගයත් කිසිදා ඔබ නොසිතන ආකාරයට ඔබගේ ජීවිතයේ කටයුතු කඩාකප්පල් කරවන එවැනි රෝගයක්.
මෙය බහුලව අවුරුදු 40-60 වයස් වල පසුවන්නන් අතර දක්නට ලැබෙන තත්ත්වයක්.
🔸 දේශීය වෙදකමේ මෙම රෝගී තත්ත්වය "කම්පවාත රෝගය" නැතිනම් "වේපථු වාත රෝගය" ලෙස නම් වනවා.
කම්ප නැතිනම් වේපථු යනු "වෙව්ලීම" යන්නට සංස්කෘත අර්ථයයි.
කුපිත වූ වාත දෝෂය සර්වාංගයම හෝ හිස අත වැනි එක් අංගයක් හෝ වෙව්ලීමට පත් කිරීම කම්පවාතය ලෙස මෙහිදී විග්රහ කරයි
මෙහි ප්රභේද දෙකකි.
1. සර්වාංග කම්පය
2.ඒකාංග කම්පය
දූෂිත වූ වාතය විසින් මොළයේ සෛල පදාර්ථයන්ට සහ ස්නායු පද්ධතියේ ක්රියාකාරීත්වයට ඇති කරන බලපෑම මෙහිදී පැන නැඟෙන රෝග ලක්ෂණ වලට හේතුවේ.
බටහිර වෛද්ය විද්යාවට අනුව මෙම රෝගී තත්ත්වය ඇතිවීමට මොළය සහ ස්නායු සෛල අතර පණිවිඩ සම්ප්රේෂණය කරන්නා වූ Dopamine (ඩොපමයින්) නම් රසායනිකයේ ඌණතාවය හේතු වන බව දක්වා තිබෙනවා.
මොළයේ Dopamine නිපදවන ස්නායු සෛල බිඳී යාම හෝ මිය යෑම නිසා එම රසායනිකය නිපදවීම අඩු විය හැකියි.
ස්නායු සම්ප්රේෂකයක් වන Dopamine ශරීරයේ චලන ක්රියාවලිය, මතක ශක්තිය, මානසික ප්රකෘති තාවය, සතුට වැනි බොහෝ තත්වයන් පවත්වාගෙන යෑමෙහි ලා වැදගත් කාර්යයක් ඉටු කරන රසායනිකයකි.
මෙම තත්ත්වය ඇතිවීම සඳහා,
•මානසික සහ ශාරීරික පීඩාවන්.
•මොළයේ ඇතිවන කුඩා ආඝාත තත්වයන්.
•ඉතා අහිතකර මත්ද්රව්ය භාවිතය.
•මානසික රෝග සඳහා ප්රතිකාර කිරීමට යොදා ගන්නා යම් යම් ඖෂධ වර්ග.
•ජානමය සබඳතාවන්
හේතු විය හැක.
🔶 කම්පවාතය නැතිනම් Parkinson රෝගයේ රෝග ලක්ෂණ විමසා බලමු.
🔹 කම්පවාත රෝගයේ ආරම්භය එක් අතක ඇඟිල්ලක හෝ පාදයක ඇඟිල්ලක නැතිනම් හක්ක හෝ හනුව ප්රදේශයේ ඇතිවන, රෝගයක් යැයි සිතා ගත නොහැකි තරමේ වෙව්ලීමකින් සිදුවේ.
පසුව ක්රමයෙන් රෝග ලක්ෂණ උත්සන්න වී ශරීරයේ එක් පසෙක, එක් අංගයක හෝ ශරීරයේම වෙව්ලීම ඇති විය හැකී. දණ්ඩක් මෙන් වෙව්ලීම ඇතිවේ.
🔹 මුහුණේ හැඩ හුරු ගතිය වෙනස්වේ. ඇසිපිය ගැසීම අඩුවී, ඔරවා බලන ආකාරයේ පෙනුමක් ඇතිවේ.
🔹 මුහුණේ පේෂි ක්රියාකාරීත්වය මන්දගාමී වීම නිසා සිනහසීම වැනි ක්රියා ඇරඹෙන්නේද, නවතිනුයේද, හෙමිහිටය.
🔹 ශරීරයේ පේශීන්ගේ ක්රියාකාරීත්වය මන්දගාමී වේ. එම නිසා අත් පා ක්රියාකාරීත්වය ඉතා සෙමින් සිදුවේ. දෛනික ක්රියාවන් මන්දගාමීව සිදුවුවත් ශරීරයේ දුබලතාවයක් ඇති නොවේ.
🔹 පේෂීන්ගේ තද ගතිය ඇතිවේ, විටෙක දෙඅත් නැමී ක්රියා විරහිත වේ.
🔹 නිතර ඇද වැටීම හෝ ශරීරයේ සමබරතාවයේ අඩුවීම. එමෙන්ම ඇවිදීමේ ස්වභාවයද වෙනස්වීම සිදුවේ.
🔹 සාමාන්ය කතා විලාශය වෙනස් වේ. වචන පැටලෙන ස්වභාවය, ගොත ගැසෙන ස්වභාවය, කට හඬෙහි වෙනස්වීම් ඇතිවිය හැක.
🔹 මතක ශක්තිය, සිතීමේ ශක්තිය අඩු වීම.
🔹 දැඩි වෙහෙස බව.
🔹 මානසික ආතතිය.
🔹 කෙල බේරීම.
🔹 ශරීරය මද වශයෙන් වකුටු වීම.
🔹 දිවෙහි, ඇසිපියවලද වෙව්ලීම ඇතිවේ.
🔹 ගඳ සුවඳ දැනීමේ ගැටලු.
🔹 ආහාරපාන ගිලීමේ අපහසුතාව.
🔹 මලබද්ධය.
🔹 මූත්රා පිටකිරීමේ අක්රමිකතාව, නිතර මූත්රාකිරීමට අවශ්ය වීම
🔹 ක්ලාන්ත ගති ඇතිවීම.
ඉහත කී පරිදි Parkinson රෝගයේදී මෙවැනි ලක්ෂණ ඇතිවීමේ හැකියාව පවතී.
රෝගය හඳුනා ගැනීමේ මූලිකම ලක්ෂණ ලෙස වෙව්ලීම, මන්දගාමී අවයව ක්රියාකාරීත්වය, පේෂි දෘඩ බව සහ ශරීර සමබරතාවයේ ගැටළු උපුටා දැක්විය හැක.
🔶 කම්පවාතය හෙවත් Parkinson නිට්ටාවට සුවපත් කළ හැකි ද?
අවාසනාවකට දේශීය වෙදකමේ හෝ බටහිර වෛද්ය විද්යාවේ මේ තත්ත්වය නිට්ටාවටම පූර්ණව සුවකළ හැකි බව ප්රකාශ නොවේ...
මෙහිදී ප්රතිකාරයන්ගේ සැබෑ අරමුණ වනුයේ,
🔹 රෝගය තවදුරටත් වර්ධනය වීම පාලනය කිරීම.
🔹 මේ වන විට ඇති වී ඇති රෝග ලක්ෂණ සැලකිය යුතු මට්ටමකින් සුව කිරීම.
🔹 ස්නායු පද්ධතිය උත්තේජනය කිරීම සහ පෝෂණය කිරීම.
මගින් තත්වය පාලනය කර එදිනෙදා කටයුතු කරගෙන යෑමට හැකි තත්ත්වයට රෝගය මැඩ පැවැත්වීමයි.
දේශීය වෙදකමේදී මේ සඳහා වාතය සමනය කිරීමට වාත උපක්රම සිදු කරනු ලබයි.
🔹 තෛල අභ්යංග, ස්වේද කර්ම(තැවීම්), වස්ති කර්ම, නස්න යෙදීම වැනි ප්රතිකාර,
🔹 ඖෂධ හා රස ඖෂධ ප්රයෝගය,
🔹 රොගයට හිතකර ආහාර හා විහරණ අනුගමනය කිරීමට උපදෙස් දීම හා ව්යායාම නියම කිරීම,
වැනි චිකිත්සා ක්රම අනුගමනය කරනු ලැබේ.
එමෙන්ම මෙවැනි තත්වයන් වලදී ඔබ අසා ඇති හෝ ඔබට යමෙකු විසින් පවසන අත් බෙහෙත්, රෝගය පිළිබඳව අවබෝධයකින් තොරව නිසි රෝග පරීක්ෂාවකින් තොරව භාවිතා කිරීම නිෂ්ඵල බව පැවසිය යුතුය.
මෙම රෝගය සඳහා පළපුරුදු, දක්ෂ අත්දැකීම් වලින් හෙබි වෛද්යවරයෙකුගේ අධීක්ෂණ යටතේ ක්රමවත් ප්රතිකාර සඳහා යොමුවීම අත්යාවශ්ය වේ.
සෑම විටම වැදගත් වන්නේ රෝග වැළඳුණු පසු සුවයක් සෙවීම නොව, රෝග වැළඳීමට පෙර වලක්වා ගැනීමට පිළියම් කිරීමයි. එනම් නිරෝගී දිවි පෙවෙතකට අවශ්ය යහපත් පුරුදු ජීවිතයට ආරෝපණය කර ගැනීමයි.
"ආරෝග්යා පරමා ලාභා"
✍🏻 පාරම්පරික දේශීය වෛද්ය විශ්ව යකන්දාවල,
රාවණ අසපුව පාරම්පරික දේශීය වෛද්ය මධ්යස්ථානය සහ පෞද්ගලික රෝහල
https://www.facebook.com/profile.php?id=61582343737574