28/08/2026
🟢 කියවන්න..
වාණිජ මට්ටමින් තුඹ කරවිල පැළ නිෂ්පාදනය සහ අළවි කිරීම සඳහා වන නීතිමය පැතිකඩ..
තුඹ කරවිල පැළ නිෂ්පාදනය කරන්න පුළුවන් ආකාර 3 ක් තියනවා.
1.බීජ මගින්
2.අල මගින්
3.රිකිලි මගින් (cuttings)
මේ ආකාර තුනෙන් වාණිජ වගාවන් සදහා වඩාත් සුදුසු වෙන්නෙ රිකිලි මගින් පැළ නිෂ්පාදනය කිරීම.ශ්‍රී ලංකාව තුළ මෙවැනි රෝපණ ද්‍රව්‍ය වාණිජමය වශයෙන් නිෂ්පාදනය කර විකිණීමේදී, රජයේ නීති රීතිවලට අනුකූල වීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා කීපයක් පවතිනවා.
▪️ බීජ පනත යටතේ ලියාපදිංචි වීම
2003 අංක 22 දරන බීජ පනතට (Seed Act) අනුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම එළවළු පැළයක් හෝ රෝපණ ද්‍රව්‍යයක් විකිණීම සඳහා නිෂ්පාදනය කරන්නේ නම් ලියාපදිංචි වීම අනිවාර්ය වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවාව (Seed Certification Service - SCS) හරහා මේ වැඩේ කරගන්න පුළුවන්.ඔබත් තුඹ කරවිල රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු සහ අලෙවිකරුවෙකු (Planting Material Handler/Producer) ලෙස ලියාපදිංචි වීමට මේ හරහා පුළුවන්.
දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි අයත් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ කාර්ය කරගන්න පුළුවන් කෙනෙක්ට ඉබ්බාගමුව,
යකල්ලෙ තියන බතලගොඩ වී පර්යේෂණ ආයතනය පරිශ්‍රයේ තියන SCS කාර්යාලය හරහා.
ලොකු මුදලක් වැය වෙන වැඩක් නොවුනට ටිකක් මේකට මහන්සි වෙලා කරන්න වැඩ ටිකක් තියනවා.හරි ලේසියෙන් ගන්න පුළුවන් ලියාපදිංචියක්නම් නෙවෙයි.
▪️මව් ශාක (Mother Plants) සහ ප්‍රභේද සහතික කිරීම.
තුඹ කරවිල පැළ ලබාගන්නේ රිකිලිවලින් නිසා, ඔබ පැළ ලබාගන්නා මව් ශාකවල ගුණාත්මකභාවය සහ නීත්‍යානුකූලභාවය තහවුරු කළ යුතුය.මෙන්න මෙතන තමා ගැටලුව තියෙන්නෙ.මොකද වාණිජ ප්‍රබේද වලින් ප්‍රමාණවත් මව් ශාක ලබා දීමක් කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තවමත් හැකියාවක් නෑ.
නමුත් ඉදිරියේදී එම ගැටලුවට විසදුමක් දෙන්න අගුණකොළපැලැස්ස ධාන්‍ය රනිල හා තෙල් භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මේ සදහා සාර්ථක වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්න බවට තොරතුරු තියනවා.ඒ සදහා කෘෂිකර්ම පර්යේෂණ සහකාර අධ්‍යක්ෂක තුමිය වන G G K D සිල්වා Kalpana Silva මහත්මිය හොද වැඩපිළිවෙළක් සකස් කරමින් තියනවා.අපි ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉමු.
ඒ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගියොත් ඔබට පැළ නිෂ්පාදනය කරන ප්‍රබේදය සහ මව් ශාක වල ගුණාත්මකබව පාරිභෝගික ගොවීන්ට තහවුරු කරන්න පුළුවන් වෙනවා.ඒක ගොඩක් වටිනා අවස්තාවක් වෙනවා ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට.
▪️තවාන පරීක්ෂා කිරීමට පැමිණෙන බීජ පරීක්ෂකවරුන් වෙත මව් ශාක ලබාගත් ප්‍රභවයන් සහ ඒවායේ සෞඛ්‍ය සම්පන්නභාවය පෙන්වීමට හැකි විය යුතුය.
▪️ශාක ආරක්ෂණ පනත (Plant Protection Act No. 35 of 1999)
පැළ නිෂ්පාදකයින් ශාක ආරක්ෂණ පනතටත් යටත් වෙන්න ඕනි.තුඹ කරවිල වැල්වලට වැළඳෙන රෝග හෝ පළිබෝධකයින් (විශේෂයෙන්ම වෛරස් රෝග, පිටි පුස්, පණුවන්) වෙනත් වගාවලට බෝවීම වැළැක්වීමේ වගකීම නිෂ්පාදකයා සතු වේ.
තවාන තුළ රෝග පාලනය සඳහා නිසි ශාක ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතුය.
🔴 ලෙඩ වැළඳුනු හෝ දුර්වල පැළ බෙදා හැරීම මෙම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
▪️අනිවාර්ය නීතියක් නොවුණත්, වර්තමාන වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් සහ විශ්වාසයක් දිනා ගැනීම සඳහා වගාවට SL-GAP සහතිකය ලබා ගන්න පුළුවන්නම් තවත් හොදයි.
මේ ලියාපදිංචි කරගන්න ආකාරය SL- GAP ගැනීම වගේ දේවල් ගැන දීර්ඝ ලිපි කීපයක් ලියලා තියනවා Nalinda Thennakoon නිළධාරී මහතා.ඒවත් කියවලා බලන්න.
▪️පළාත් පාලන සහ ව්‍යාපාරික ලියාපදිංචිය
බොහෝ දෙනෙක් බීජ පනත් ලියාපදිංචිය ගත්තාම මේක නොසලකා හරිනවා.පැළ නිෂ්පාදනය වාණිජ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනකොට ආයතනිකව නීත්‍යානුකූල වෙන්න ඕනි.ඒ සදහා,
ව්‍යාපාර නාම ලියාපදිංචිය ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (Divisional Secretariat) මඟින් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීම.
වෙළඳ බලපත්‍රය - ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව වෙතින් වාර්ෂික වෙළඳ බලපත්‍රය (Trade License) ලබා ගැනීම.
මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි.
ජලය හොඳින් බැසයන, මව් ශාක නඩත්තු කිරීමට සහ පැළ රිකිලි මුල් ඇද්දවීමට සුදුසු සෙවන දැල් (Net House) සහිත තවාන් පරිශ්‍රයක් සකස් කර ගන්න ඕනි.
අනිවාර්යයෙන්ම පැළ නිෂ්පාදකයින් හොද ගුණාත්මක බදුන් මිශ්‍රණයක් භාවිතා කරන්න ඕනි.බොහෝ දෙනෙක් නිවරැදි බදුන් මිශ්‍රණයක් සකස් නොකර ,මොනවහරි පුරවලා පැළ හදලා දුන්නාම ඒකෙන් අසරණ වෙන්නෙත් පාරිභෝගික ගොවීන්.ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.ඒ සදහා ඔයාට එම මිශ්‍රණය සදහා රසායනාගාර වාර්තාවක් අරන් බලලා අඩුපාඩු සකස් කරගන්න පුළුවන්.
රිකිලි මඟින් බෝ කරන විට මල් හටගන්නා ආකාරය අනුව පිරිමි ශාක (Male Plants) සහ ගැහැණු ශාක (Female Plants) නිවැරදිව හඳුනාගෙන, ගොවියාට ලබාදෙන විට නිවැරදි අනුපාතයට ගැහැණු සහ පිරිමි පැළ ලබා දෙන්න ඕනි.
▪️ලේඛන නඩත්තුව (Record Keeping) කරන්න ඕනි. දිනපතා තවානෙන් අලෙවි කරන පැළ, මිලදී ගත් අයගේ විස්තර සහ මව් ශාක නඩත්තු සටහන් ඇතුළත් පොත් පවත්වාගෙන යාම.බීජ පනත යටතේ මේවා පරීක්ෂා කරනවා.
ඔබ දන්නවද මේ නීති රීති හදලා තියෙන්නෙ ඇයි කියලා.පාරිභෝගිකයාගේ ඒ කියන්නෙ ගොවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.මොකද මේ පැළ හදන්නෙ අපේම ගොවීන්.
එහෙනම් තුඹ කරවිල පැළ මිළදී ගන්න නිෂ්පාදකයෙකු හෝ අළවිකරුවෙකු ළගට යනවානම් පාරිභෝගිකයෙකු ලෙස ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනි නීතිමය කරුණු ටික පහත දක්වලා තියනවා.
1.බීජ පනත් ලියාපදිංචි සහතිකය
2.ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
3.වෙළද බලපත්‍රය
4.මව් ශාක වගාව
5.පැළ නිෂ්පාදන පරිශ්‍රය
දැන් ඔයා පැළ මිළදී ගන්න ගියාම මේ දේවල් පිළිවෙළකට නැත්නම්,බලන්න දෙන්නෙ නැත්තම් පැළ ගන්න එපා.ඔය නීතිමය අවශ්‍යතා සපුරලා නැති තැනකින් පැළ අරන් චෝදනා කරලා තේරුමක් නෑ.මොකද පාරිභෝගිකයන් ඒ කියන්නෙ ගොවීන් මේ පිළිබදව දැනුවත් වෙන්න ඕනි.
දැන් අපි මේක ලියන්නෙ පැළ නිෂ්පාදකයින් හෝ අළවිකරුවන්ට පහර ගහන්න නෙවෙයි.ඔයාලා දන්නවනෙ අපි කොහොමත් මේ තුඹ කරවිල වගාව ගැන,ඒක ආරක්ෂා කරගන්න අවශ්‍ය සියලු තොරතුරු සමාජගත කරනවා.ඒ නිසා දැන් පැළ නිෂ්පාදකයින් කරන්න ඕනි දේ තමා මේ ලියාපදිංචි කිරීම් ටික කරගෙන පිරිසිදුව පිළිවෙළකට ක්ෂේත්‍රයට එන එක.එතකොට බය නැතුව ඔයාගෙ ව්‍යාපාරය ලස්සනට කරගෙන යන්න පුළුවන්.
එහෙනම් අපේම පැළ නිෂ්පාදකයිනි,පැළ අළවිකරුවනි,පාරිභෝගික ගොවි මහතුනි නිවරැදි නීතිමය කරුණු ගැන අවබෝධයෙන් සහ ඒවා සකස් කරගනිමින් ඔබේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්න කියලා සුභ පතනවා..!
පුංචි ඉල්ලීමක් කරනවා ඔබත් ගුණාත්මක පැළ නිෂ්පාදකයෙක්නම්,ගුණාත්මක පැළ අළවිකරුවෙක්නම්,පාරිභෝගික ගොවි මහතෙක්නම් තවත් අයෙකුට බලන්න Share කරන්න.
වගේම මේ පිළිබදව ඔබේ අත්දැකීම් සහ අදහස් දක්වන්න.
Spiny Ceylon අපිව follow කරලා තියා ගන්න.
"Nature's inheritance to the nations" 💚
Spiny Ceylon 💚