05/06/2025
එදිනෙදා වැඩ කටයුතු අඩපණ කරන
සයටිකා රෝගය
කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිවන රෝග අතරින් ප්‍රධානතම රෝගයක් ලෙස මෙම රෝග තත්වය හැඳින්විය හැකිය. මෙහිදී රෝගියාගේ කොඳු ඇට පෙළෙහි පහල ප්‍රදේශයෙන් ආරම්භවන වේදනාව පාද වල වළලුකර හෝ ඇඟිලි දක්වාම ගමන්කිරීම සිදුවේ. ඇතැම් විට මෙම වේදනාව ඉතා තීව්‍ර වන අතර රෝගියා ඉමහත් අපහසුතාවයකට පත්වේ.
මෙම රෝග තත්වය ආයුර්වේදයේ 'ගුධ්‍රැසී' ලෙස හඳුන්වයි. එලෙස හැදින්වීමට හේතුව වනුයේ මෙම රෝග තත්වයෙන් පෙලෙන රෝගියාගේ ගමන ගිජුලිහිණියෙකුගේ ගමන් විලාශයට සමාන වන හෙයිනි.
මෙහෙදී සිදුවන්නේ කොඳු ඇට පෙළෙහි පහල ප්‍රදේශයෙන් ආරම්භවන පාද වලට ස්නායු සපයන සයටික් ස්නායුව (Sciatic Nerve) තෙරපීමකට ලක් වීමයි. මෙම රෝගයට නිවැරදිව ප්‍රතිකාර නොකිරීම නිසා පසුකාලීනව පාද ආශ්‍රිත හිරිය වැනි තත්ව ද ඇතිවීමට හැකිය.
💎මෙම රෝග තත්වය ඇතිවීමට හේතු,
🔹බොහෝ වේලාවක් සිටගෙන සිටීම.
🔹බොහෝ දුර පයින් ගමන් කිරීම.
🔹ගැස්සෙන වාහනවල නිතර ගමන් කිරීම.
උදා:- යතුරු පැදි, ත්‍රී රෝද රථ ආදී
🔹අධික වෙහෙසකර ශාරීරික ව්‍යායාම වල නිරතවීම.
🔹වැරදි ඉරියව්.
🔹හදිසි අනතුරු.
🔹වයස්ගත වීමත් සමඟ ඇතිවන අස්ථි ගෙවීම්. ( Degenerative Diseases )
🔹කොඳු ඇට පෙළ ආශ්‍රිත ශල්‍ය කර්මයකින් පසු.
🔹දරු ප්‍රසූතියකට පසු.
🔹Malignant or Benign Tumor.
💎මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ,
🔹වේදනාව කටී ( තුනටිය ) ප්‍රදේශයෙන් ආරම්භ වී තට්ටම්, කලවා, බත් කෙණ්ඩා හරහා පාද ඇඟිලි දක්වා පැතිරේ.
🔹පාද වල තද බවක් ඇති වේ.
🔹වරින් වර පාද වල ගැස්මක් ඇති වේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දෝෂ තත්වය අනුව මෙහි ප්‍රභේද 2ක් වේ,
1.කේවල වාතජ ගුධ්‍රැසී
2.වාත කඵජ ගුධ්‍රැසී
ඉහත දැකිවූ පොදු ලක්ෂණ වලට අමතරව කේවල වාතජ ගුධ්‍රැසියේ දී දණිස් සන්ධි වල ඉදිමීම, පාද වල හිරිය, ශරීරය නැමීයාම ආදී ලක්ෂණ ඇති වේ. වාත කඵජ ගුධ්‍රැසියේ දී බඩගිනි මදකම, නිදිමත ගතිය, ආහාර අරුචිය, ශරීරයේ බර බව ආදී ලක්ෂණ ඇති වේ.
💎ප්‍රතිකාර,
මෙම රෝග තත්වය නිවැරදි අභ්‍යන්තර ප්‍රතිකාර පද්ධතියක් හා බාහිර ප්‍රතිකාර පද්ධතියක් මගින් සුව කළ හැකිය.
මෙහිදී අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස කෂාය, ගුලි, කල්ක, චූර්ණ ආදී ආයුර්වේද ඖෂධ වලින් සමන්විත ප්‍රතිකාර පද්ධතියක් භාවිතා කරයි. බාහිර ප්‍රතිකාර ලෙස තෛල අභ්‍යංග, තැවීම, පත්තු දැමීම, තෛල පිචු, කටී වස්ති ආදිය අවස්ථානුකූලව සළකා බලා සිදු කරයි.
මීට අමතරව පංච කර්ම ප්‍රතිකාරද මෙම රෝග තත්වය සුවපත් කිරීම සදහා අවස්ථානුකූලව භාවිතා කළ හැකිය.
💎සුදුසු ආහාර,
කාබෝහයිඩ්‍රේට වැඩි ප්‍රමාණයක් අඩංගු ආහාර, පලා වර්ග, තන්තු සහිත ආහාර. විශේෂයෙන් ජීර්ණයට පහසු ආහාර ගැනීම වැදගත් වේ.
💎චර්යා පැවැත්ම,
මෙම රෝග තත්වය සඳහා ආහාර වලට වඩා ඉතාමත් වැදගත් වනුයේ චර්යා පැවැත්ම හා නිවැරදි ඉරියව් භාවිතයයි.
🔸මිනිත්තු 30 කට වරක්වත් ඉරියව් වෙනස් කළ යුතුය.
🔸පුටුවක වාඩිවී සිටින විට කොඳු ඇට පෙළ සෘජුව සිටින සේ පවත්වා ගන්න.
🔸බිම ඇති දෙයක් ගැනීමේ දී හෝ බරක් එසවීමේ දී දණහිස් නවා පහත් වී බර ඔසවන්න. කොන්ද නවා බර එසවීමෙන් වළකින්න.
🔸ගැස්සෙන වාහන භාවිතය අඩුකරන්න. ( යතුරු පැදි, ත්‍රී රෝද රථ, බස් රථ වල රෝදය අසල )
🔸නිදාගැනීමේදී උඩුබැලි අතට නිදාගෙන පාද ඔසවා දණහිස යටින් කොට්ටයක් තැබිය යුතුය.
🔸හිස තැබීමට තුනී කොට්ටයක් භාවිතා කරන්න.
🔸නිදාගැනීමට තුනී මෙට්ටයක් භාවිතා කරන්න.
🔸සවස් කාලයේ ස්නානය කිරීමෙන් වළකින්න.
ආයුර්වේද වෛද්‍ය
H.A.කෝසල සමීර මයා
BAMS (Colombo)
ආයුර්වේද වෛද්‍ය
R.M.S.D.ජයවර්ධන
BAMS (Colombo)
ඉදුවර ආයුර්වේද වෙද මැදුර
21 කණුව, දම්බරාව, මහියන්ගනය
විමසීම් :- 0702602564 / 0769202066