02/09/2026
මිලේනියම් සක්කරවට්ටම් -31
“ඒ මොකද ඒ “ තරුණියද ටද ඔහු එක්වරම එවැන්නක් පැවසීමට ය හේතුවක් තිබිය යුතුයැයි සිතුනි.
“ඒකටත් ලොකු හේතුවක් තියෙනව .ඒක වෙනම කියන්න ඕනි කතාවක්” ඔහු වීදුරු කවුලුවලින් පෙනෙන විශාල මාර ගස දෙස නෙත් රඳවාගෙන පැවසීය.
“අනේ සජාන් දැන් නම් තව කතා අහ අහ ඉන්න වෙලාවක් නෑ. දැනටමත් ගොඩක් වෙලා ඉඳල අපි මෙතන”
තරුණිය පැවසුවේ කලබලයෙන් මෙනි
“හරි හරි ඒත් ඊයෙ උන සිද්දිය නිසා මට මේ ටික ඔයාට් කියන්න ඕනි කම තිබ්බා. බීම එක බීලත් නැ බොන්න”
ඇය බීම බෝතලය එක හුස්මට පානය කලාය
“අපි යමු නේද” ඇය ඔහුත් සමග ඉක්මන් ගමනින් යලිත් පරිගණක සවිකරන තැනට පැමිණියාය.
ඒ වන විටත් වැඩ අවසන් වී තිබුනු බැවින් මලින්ද ඒවා එකින් එක නිරීක්ශණය කරමින් සිටියේය .
විනෝදනා ඔවුන්ගෙන් මිදී පරන ශාඛාව දෙසට ගියේ එහි ඇති තමාගේ බඩු මුට්ටු ටික ගෙන ඒම සඳහායි.
"විනෝ..."
සඳනි හතිලමින් ඇය අසලට දිව ආවාය.
"කොහෙද ඔයා ගියේ? මම හැමතැනම හෙව්වා."
"ඇයි... මොකක් හරි වැඩක් ආවද?" විනෝදනාද විමසුවේ තමා නැති අතර යම් ප්‍රශ්නයක් ඇතිවූ වාදෝයැයි වික්ශිප්තවය.
සඳනි තත්පරයක් ඇය දෙස බලා සිටියාය.
"මිහිරන් ඇවිත් හිටියා..." ඇය තවමත් හති හලයි
"ඔයාව හෙව්වා."
ඒ වදන් දෙක ඇසුණු මොහොතේම විනෝදනාට ලෝකයම තත්පරයකට නැවතුණා සේ දැනුණි.
“මොනවා දෙවියනේ කෝ දැන් කෝ?” තරුණියට උන්හිටි තැන් අමතක විය.
“දන්නෙ නෑ දැන් පැය බාගෙකට වැඩියි ආපහු ගියාද දන්නෙ නෑ.”
තරුණියට තමාව කලාන්ත වීගෙන එනවා සේ දැනුනි..නෙත් දෙකට කඳුලු පිරීගෙන ආවේය.
ඇය පිස්සියක් මෙන් ආපනශාලාවටත් අනතුරුව ප්‍රධාන ගේට්ටුව දෙසටත් දිව ගියාය.
ඔහුගේ සලකුනක් හෝ නොවිය
සජාන් විසින් පවසන ලද ජීවිත කතාව කුඩා කාලයේ අහම්බෙන් නැරඹූ "සදාකල් රැඳේවා" චිත්‍රපටයේ මවක් නොමැතිව කුඩම්මාගේ කෙනෙහිලිකම් මැද හැදී වැඩුණු කුඩා පිරිමි දරුවා ගැන ඇති වූ සංවේගය මෙන්ම එයද ඇගේ සිතට දැනුණි.
එහෙත් ඒ හැඟීම රැඳුණේ විනාඩි කිහිපයක් පමණි.
මිහිරන් තමාව සොයා ආ බව ඇසුණු මොහොතේ, ඇගේ සිතේ සජාන් වෙනුවෙන් ඇතිවූ දුක තව හිරුදුටු පිනිමෙන් අතුරුදහන් විය. මිහිරන් මග හැරගැනීම ගැන ඇය තමාටම දොස් පවරා ගත්තාය. ඔහු මුන ගැසීමට නොහැකිවීම ගැන හදවත හඬාවැටෙන්නට පටන් ගත්තේය. පුපුව තුල ගිනි ජාලාවක් ඇවිලෙන්නා සේ ඇයට දැනුනි.
මිහිරන් පැමිණ තමා සෙවූ බව සඳනිගෙන් දැනගත් මොහොතේ සිට ඇය ඔහු සොයා අමාත්‍යාංශ පරිශ්‍රය පුරාම ඇවිද ගොස් හති වැටී තිබුණි.
' අයියෝ මේ සජාන්ටත් අදම එයාගෙ කතාව කියන්න ඕනි උනා.'
තමාටම කොඳුරා ගනිද්දී දෑස් වල කඳුළු පිරෙන්නට විය.
මෙතුවක් දවස් දෑස් රිදෙන තුරු ඔහුගේ රුව දැකගැනීමට පෙරුම් පිරූ ඇයට, ඔහු පැමිණි දිනයේම ඔහුව මග හැරීම දෛවය තමන්ට කළ සරදමක් සේ දැනුණි.
තමා තරුණයෙකු සමග ආපනශාලාවේ කතාබහ කරමින් සිටිනු ඔහු දුටුවේ නම් ඔහු කුමක් සිතනු ඇතිද. ඊයේ සවස සිදුවූ අහඹු සිද්දියක් හේතුවෙන් සජාන් හා කතාකිරීමටත් ඔහු කියන දෙය අසා සිටීමටත් සිදුවූ බව මිහිරන් නොදනී.
ඔහු තමන් සජාන් සමගින් කතාකරමින් සිටි බව දුටුවා නම් ඔහු එය කෙසේ වටහා ගත්තාද පවා සිතා ගත නොහැකි විය.
තරුණියගේ සිත ව්‍යාකූල වී තිබුණි. ඔහු ගෙදර ගියාද යලිත් ඔහුගේ සේවාස්ථානයට ගියාද හෝ නොදනී.
එබැවින් දුරකථන ඇමතුමක් දීමට පවා තවමත් වේලාසන වැඩිය.
බලාපොරොත්තු සුන්වූ තරුණිය වෙහෙසකාරී බවින් යුතුව යලිත් ශාඛාව වෙත පැමිණියේ අවුල් වූ මනසකිනි.
ඇය පැමිණෙන විට සජාන් ඇතුලු පිරිස ඔවුන්ගේ කාර්‍ය අවසන් කොට පිටව ගොස් තිබුණි.
" කොහෙද මනුස්සයො අතුරුදහන් වුනේ සජාන් හැම තැනම හෙව්වා කියල යන්න"
ඇය එන මග බලා සිටි මලින්ද ඇයට සැර විය.
"අයියෝ එයා හින්ද තමයි මේ සේරම" ඇයට එක්වරම කියවුනි.
" මොකක් ඇයි ඌ මොකද කලේ "
තමා නොසිතා ඔහු ඉදිරියේ පැවසූ දෑ පැහැදිලි කර දෙන්නේ කෙසේදැයි ඇයට සිතාගත නොහැකිවිය.
ඊයේ හවස වූ සිද්දියත් සජාන් එයට සමාව ගැනීමට උදෑසන ආපනශාලාවේ කතාකර කර සිටීමෙන් තමාට මිහිරන් මග හැරුනු බව ඔහුට කිව නොහැක. එතරම් දිග විස්තර යක් ඔහු හා පැවසීමට තරම් මානසිකත්වයක් ද ඇයට මෙවෙලේ නොවුනි.
" අද ගොඩක් වැඩ ගොඩ ගැහිල තිබ්බෙ..මේ සජාන්ලගෙ වැඩ නිසා ඒවත් හිරවෙලා .මට පොඩි වැඩකට මිනිස්ට්‍රි එකට යන්නත් තිබ්බා "
ඇය මලින්දගේ දෝෂාරෝපනයෙන් මීදීමට පැවසීය.
" හරි හරි එහෙනම් කෝල් එකක් දාලා තෑන්ක්ස් කරනවකො උටත් තව ක්ලයන්ට් අපොයිමන්ට් එකක් තියෙනව කිව්ව නැත්තම් තව ටිකක් වෙලා ඉන්නව කිව්ව"
ඔහු කට කොනට සිනහවක් නගාගෙන පැවසීය.
" ඇයි ඔයා හිටියෙ. තෑන්ක්ස් කරෙ නැද්ද මේක ඔයාගෙ සබ්ජෙක්ට් එක නෙ " තරුණිය පැවසුවේ මදක් නොරිස්සුමෙනි.
" සබ්ජෙක්ට් එක මගෙ උනාට මේක දැන් ඔයාලගෙ වැඩක් නෙ. ඉස්සරහටත් ඔය මැෂින් වල හදිසියෙ ප්‍රශ්න ආවොත් ඉක්මනට හදෝ ගන්න එහෙම මිනිහව ශෙප් එකේ තියාගන්න එපැයි " මලින්ද විනෝදනාගේ තරහ නිවීමට මෙන් යාප්පුවෙන් පැවසීය.
" හා හා පස්සෙ කෝල් එකක් දෙන්නම් හැබැයි අර මහ ලොකු ගඩොල් බාගෙට නම් කතා කරන්නෙ නෑ " විනෝදනා එය නම් පැවසුවේ සැබෑවටම තරහ ගොසිනි.
මලින්ද එයට කිසිවක් නොකියා සරදම් සිනහවක් පමනක් නගාගෙන ඔවුන්ගේ ශාඛාව දෙසට ගියේය.
තමන්ගේ ශාඛාවේ පිරිස යුහුසුළුව අලුත් ශාඛාවේ තමන්ට කැමති අසුනක් වෙන්කරගෙන ලාච්චු අස් කරමින් සහ තම අසුන් සකස් කරමින් සිටියෝය.
" කොයි ලෝකෙ යනවද මන්ද අපි දෙන්න හිටි නිසා හොඳයි අන්න අපි එකලඟ සීට් තුනක් සෙට් කරගත්තා " නිම්සරා පැමිණ දෝශාරෝපනය කලාය.
විනෝදනා සිටියේ හොඳටම හෙම්බත් වීමෙනි.
" අනෙ මට වතුර බෝතලේ ගෙනත් දෙන්න "
ඇය උන් තැනම අසුනක් බලා වාඩිවිය.
යෙහෙලියගේ මුහුනේ ඇති විඩාව සහ වේදනාව හඳුනාගැනීමට නිම්සරා ට අපහසු නොවීය.
"විනෝ මොකෝ මේ බලන්නකො මූනෙ හැටි " නිම්සරා විමසුවේ ඇය කුමක් හෝ දෙයකින් පීඩාවට පත්ව ඇතිබව දැනීමෙනි.
" ආ මෙන්න වතුර " සඳනි වතුර බෝතලය ඇයාත තැබීය.
එක හුස්මට වතුර බෝතලය බීගෙන ගිය ඇයගේ නෙත් කෙවෙනි අග කඳුළු කැට කඩා වැටෙන්නට විය.
" ඒයි මේ මොකෝ මිහිරන් හම්බුනෙ නැද්ද " සඳනි ඇගේ අතකින් අල්වාගෙන විමසීය.
" ආ ඒකද මෙයා අවුල් ගිහින් ඉන්නෙ අපි ඔයාව හෙව්ව නෙ හැම තැනම මිහිරන් ආපු වෙලේ මලින්ද ගෙනුත් ඇහුවා මිනිහ කිව්ව දැන් හිටියා කොහාට ගියාද දන්නෙ නෑ කියල " නිම්සරාද පැවසීය.
" ඔය මිනිහගෙ බොරු ... එයා දන්නව මම සජාන් එක්ක කැන්ටිමට ගිය බව" විනෝදනා පැවසුවේ කඳුලු අතරිනි.
" සජාන් එක්ක ? ඒ මොටද" සඳනි ගේ නෙත් වල ප්‍රශ්නාර්තයක් රැඳී තිබුණි.
"හයියෝ ඒ වෙන ප්‍රශ්නෙකට. අනේ පස්සෙ කියන්නම් ද මගෙ ඔලුව විකාරයි අයියෝ මිහිරන් ගියාද දන්නෙ නැ කැන්ටිමටත් . අපි කතාකර කර හිටිය දැක්කද දන්නෙ නැ " විනෝදනා කඳුළු පිසදමනි පැවසීය.
" ඒකනම් දන්නෙ නැ. හදිසියෙ කමිශනර්ගෙන් මොකද්ද එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ගන්න ආවෙ කිව්ව ඉක්මනට යන්න ඕනි කතාවකුත් කිව්ව එහෙමම ගියාද දන්නෙ නෑ " සඳනි පැවසුවේ නිම්සරා දෙසද බලමිනි.
" විනෝ දැන් ඉතින් අඬ අඬ කල්පනා කරල වැඩක් නැ අපි හිතුවට වඩා ඔයා මිහිරන් ගැන හිතනව නේද ඔය වගක් දන්නව නම් අපි එයාව නවත්තගෙන ඔයාව කොහෙන් හරි හොයාගෙන එනවා" නිම්සරා පැවසුවේද දුකින් මෙනි.
" අනේ මන්ද මෙයා වොරි වෙන තරම් එයාට නම් කැක්කුමක් තියේ කියල මම හිතන්නෙ නෑ..නැත්තම් කොහොම හරි හම්බෙලානෙ යන්නෙ" සඳනි පැවසුවේ නෝක්කාඩු ස්වරූපයෙනි.
" හරි මේ දැන් අපි ටේබල්ස් ඇරේන්ජ් කරගමුද නැත්තම් අනෙත් අය බලයි ඇයි මේ කියල" නිම්සරා පැවඩුවේ දෙදෙනාගේම අත්වලින් අදිමිනි.
එදා දවසම කිසිදු වැඩක් කිරීමට සිත හදාගැනීමට ඇයට නොහැකිවිය. සවස් වනතුරු කාලය ගෙවා දැම්මේ නොඉවසිල්ලෙනි.
කාර්‍යාලය නිමවූ විගස ඇය නිවසට ගියේ වෙනදා නොමැති කලබලයකිනි. හවස්වරුවේ ම ගණකාධිකාරි වරයා අසුනේ සිටි බැවින් එතනින් ඇමතුමක් ගැනීමට ඇය පැකිලුනි.
නිවසට යනවිට සොහොයුරා ද පැමිණ නොසිටීම ඇගේ සැනසීමට හේතුවිය.
ඇය ඒ ඇඳුන් පිටින්ම සෝෆාවේ වාඩිවී මිහිරන්ගේ නිවසේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තාය. දුරකථනය කිහිපවරක්ම නාද වුවද කිසිවෙක් එය හා සම්බන්ධ නොවූ තැන තරුණියට ඉවසා ගත නොහැකි විය.ඇය යළිත් වරක් උත්සහ කළාය
" හලෝ"
අවසන එහා පසින් කාරුණික හඬක් සවන වැටුන කල ඇය සැනසුම් සුස්මක් හෙලුවාය.
ඇය මිහිරන්ගේ මව බව තරුණිය හඳුනාගත්තාය.
" ආ අම්මා මිහිරන් ඉන්නවද මම කලින් ඔෆිස් එකෙන් අර දවසකුත් කතා කලේ"
" ආ ඔව් දුව මට මතකයි.පුතා නම් නෑ දුව "
ඇය කාරුණිකව පැවසීය
" ආ එනකොට තාම රෑ වෙනවද"
" නෑ දුව පුතා අද ඇමරිකා ගියා ට්‍රේනින්ග් එකකට"
ඇය පවසනවාත් සමගම තරුණියගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.
මවගේ ඇයට ඇසුණේ දුරකථනයේ අනෙක් පසින් නොව, හදවත ඇතුළතින් නැගුණු පිපුරුම් හඬක් ලෙසිනි.
" ඇ..ඈමරිකා ගියා" ඇය අපහසුවෙන් වචන ගොනු කරගත්තාය.
“ ඔව් දුව මාසෙකට කියලයි ගියෙ නම්...ඒත් කාලෙ දික්වෙන්නත් පුළුවන් කිව්වා...අපිත් මේ පුතාව එයාපෝට් එකට ඇරලවල ගෙට ගොඩ උනා විතරයි."
තරුණියට කතා කර ගැනීමට පවා නොහැකි වන තරමට හදගැස්ම වැඩිවිය. එය ඔහුගේ මවට දැනෙන්නට පෙර ඇය ඇමතුමෙන් සමුගත්තාය.
" හරි අම්මා මහන්සි ඇතිනේ මම තියන්නම් එහෙනම් බුදුසරණයි "
" බුදුසරණයි දුව"
දුරකථනය විසන්දි කල ඇයට නෙත් අගින් වෑහෙන කඳුලු නවතාලිය නොහැකිවිය.
නිවසේ කිසිවෙකු නොසිටීම නිසා දුක තුනී වී යනතුරුම හැඬුවාය..
'අඩුම ගානෙ ඔච්චර දුර ගමනක් යද්දි විශ් කරන්නවත් බැරි උනා ' ඇය තමාටම දොස් පවරාගනිමින් හඬන්නට විය. සජාන් කෙරෙහිද ඇතිව තුබූ දුක යටපත් කරගෙන අහේතුක තරහකින් සිත පිරීගියේය.
' ඊයෙ හවස කොහෙවත් යන ගැනියක් ඇඟට කඩා පැන්න එල තමා සේරටම මුල. ' කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු මෙන් ඇය සජාන්ටත් ඔහුගේ නෑනාටත් සිතින් බනිමින් සිටියාය.
රාත්‍ර්‍රි ආහාර පිළියෙල කිරීමට වත් ඇයට කිසිදු පිරියක් නොතිබුණි.
මව සහ සහෝදරයා දෙදෙනාම සතුව ඉදිරිපස දොරේ අමතර යතුරක් තිබුණු බැවින් ඇය ඇඟපත සොදාගෙන උණු තේ කෝප්පයක් සාදාගෙන ඔනෑවට එපාවට මෙන් පානය කලාය.
තේ කෝප්පය පසෙක තැබූ ඇය කොට්ටය බදාගෙන කඳුලු සලන්නට විය. යලිත් මිහිරන් හා කතා කරන්න ලැබෙනුයේ කවදාදැයි සිතාගැනීමටවත් නොහැක. අවම වශයෙන් උදෑසන මොහොතකට හෝ ඔහුව දක්නට ලැබුනා නම් මෙතරම් දුකක් නොදැනෙනු ඇත.
ඇයව වඩාත්ම වේදනාවට පත් කලේ සජාන් සහ තමා ආපන ශාලාවේ කතා කරමින් සිටි අයුරු ඔහු දුටුවේද කියායි. එය ප්‍රේමනීය කතා බහක් නොවුවත් දුර සිට බලන්නෙකුට එය කෙලෙස පෙනුනාදැයි ඇය නොදනී
කඳුලූ සලමින් කල්පනා කරමින් සිටි ඇයට නොදැනීම මද වේලාවකට නෙත් පියවී තිබුණි.ඇය එක්වර තිගැස්සී නැගිටුනේ මවගේ කට හඬ් ඇසීමෙනි.
“මේන් මෙයා කලින්ම නිදි අද ..දොර ලොක් කරල තියෙන කොට මම ඒත් හිතුව තාම ඇවිත් නැද්ද කියල…මොකෝ මේ නිදි අසනීපයක්ද”
“මහන්සි ඔලුව රිදෙනව අද අලුත් බ්‍රාන්ච් එකට බඩු ඇද්ද” ඈය මවගේ ගෝරනාඩුවෙන් මිදීමට පැවසීය.
“ඉන්නෙ හරියට පිට කොටුවෙ මුට්ට කරගැහුව වගේ” පවසාගෙන
මව සාලය දෙසට යනු ඇසුනි.
“මේ අරයා අද උයල නෑ . හන්දියට ගිහින් පාන් රාත්තල් දෙකක් වත් ගේනවද මම පාන් කන්න මොනව හරි හදන්නම් . කොල්ලත් දැන් එන්නෙ හොඳටම බඩගිනි වෙලා” මව හඬ නගා පියාට පවසනු ඇයට ඇසුනි.
ඒ රාත්‍රිය ඇය මෑතකදී ගෙවා දැමූ අසීරුම රාත්‍රිය විය.හඬමින් සුසුම් හෙලමින් වෙහෙසට පත්වූ ඇගේ ගතේ වෙහෙස නිසාම එළිවන ජාමයේ යන්තම් පැය කිහිපයකට නිදිදෙව් දුව ඇය කරා පැමිණ තිබුණාය.
පසුවදා ඇය කාර්‍යාලයට ගියේය ඔනෑවට එපාවට මෙනි. මව උදෑසන ආහර පිළියල කර ගොස් තිබුනු බැවින් ඇය ඇති වෙන තුරු නිදාගත්තාය.
කෙසේ හෝ කාර්‍යාලයේ වැඩ කටයුතු කිරීමට ඇය ආයාසයෙන් සිත හදා ගත්තාය.
‘ඔයා ආපහු එනකම් මමත් මගේ ගමන නවත්තන්නෙ නෑ මිහිරන්…’ඇය තමාටම මුමුණාගත්තාය.
ගණකාධිකාරි වරයා අසල තිබෙන අභ්‍යන්තර දුරකථනයට ඇමතුමක් පැමිණියේය. ඇය ගණකාධිකාරි වරයාගේ මේසයට ආසන්නම අසුනේ සිටින බැවින් දුරකථනයට ඵිළිතුරු දිනි.
මතු සම්බන්ධයි
************************************
වසර දෙදහ නව මිලේනියමයේ උදාවත් සමඟ, ජංගම දුරකථන හෝ අන්තර්ජාල සබඳකම් සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත නොවූ යුගයක, සීමිත සන්නිවේදන පහසුකම් නිසා මුහුන දුන් ගැටලුද හාස්‍ය සහගත සිදුවීම්ද අතරින් ගලා ගිය පරිගණක හා තොරතුරු තාක්ෂණය රාජ්‍ය සේවයට අලුතින් පිවිසෙමින් තිබියදී රජයේ ආයතනයක සේවක පිරිසක් හා ඔවුන්ගේ නිවෙස් වටා සිදුවන සිදුවීම් සමුදායක් මැද දලුලා වැඩුනු ආදර අන්දරයක් සහිත අතීතකාමයෙන් පිරුණු කතාවකි.
අපහාසය නොව උපහාසය පමනක් මුසුවූ මෙම කතාවේ එන නම් ගම්, ප්‍රධාන චරිත, ආයතන , දෙපාර්තමෙන්තු හා අමත්‍යංශ පරිශ්‍රය මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න.
සඳුදා බදාදා සිකුරාදා සෙනසුරාදා සවස 4 ට හමුවෙමු.