SUKEE MANU BOOKS

SUKEE MANU BOOKS සුඛී දීඝායු කෝ භව
සුවයෙන් දිගාසිරි ලැබේවා🙏
මනස සුවපත් කරන කතා කියවන්න, ගීත රස විඳින්න, රස ගුණ කෑම හදන්න එක්වන්න .❤️🌹🌹

මිලේනියම් සක්කරවට්ටම්  -31“ඒ මොකද ඒ “ තරුණියද ටද ඔහු එක්වරම එවැන්නක් පැවසීමට ය හේතුවක් තිබිය යුතුයැයි සිතුනි.“ඒකටත් ලොකු...
02/09/2026

මිලේනියම් සක්කරවට්ටම් -31

“ඒ මොකද ඒ “ තරුණියද ටද ඔහු එක්වරම එවැන්නක් පැවසීමට ය හේතුවක් තිබිය යුතුයැයි සිතුනි.
“ඒකටත් ලොකු හේතුවක් තියෙනව .ඒක වෙනම කියන්න ඕනි කතාවක්” ඔහු වීදුරු කවුලුවලින් පෙනෙන විශාල මාර ගස දෙස නෙත් රඳවාගෙන පැවසීය.

“අනේ සජාන් දැන් නම් තව කතා අහ අහ ඉන්න වෙලාවක් නෑ. දැනටමත් ගොඩක් වෙලා ඉඳල අපි මෙතන”
තරුණිය පැවසුවේ කලබලයෙන් මෙනි
“හරි හරි ඒත් ඊයෙ උන සිද්දිය නිසා මට මේ ටික ඔයාට් කියන්න ඕනි කම තිබ්බා. බීම එක බීලත් නැ බොන්න”

ඇය බීම බෝතලය එක හුස්මට පානය කලාය

“අපි යමු නේද” ඇය ඔහුත් සමග ඉක්මන් ගමනින් යලිත් පරිගණක සවිකරන තැනට පැමිණියාය.

ඒ වන විටත් වැඩ අවසන් වී තිබුනු බැවින් මලින්ද ඒවා එකින් එක නිරීක්ශණය කරමින් සිටියේය .

විනෝදනා ඔවුන්ගෙන් මිදී පරන ශාඛාව දෙසට ගියේ එහි ඇති තමාගේ බඩු මුට්ටු ටික ගෙන ඒම සඳහායි.

"විනෝ..."
සඳනි හතිලමින් ඇය අසලට දිව ආවාය.
"කොහෙද ඔයා ගියේ? මම හැමතැනම හෙව්වා."

"ඇයි... මොකක් හරි වැඩක් ආවද?" විනෝදනාද විමසුවේ තමා නැති අතර යම් ප්‍රශ්නයක් ඇතිවූ වාදෝයැයි වික්ශිප්තවය.
සඳනි තත්පරයක් ඇය දෙස බලා සිටියාය.
"මිහිරන් ඇවිත් හිටියා..." ඇය තවමත් හති හලයි
"ඔයාව හෙව්වා."
ඒ වදන් දෙක ඇසුණු මොහොතේම විනෝදනාට ලෝකයම තත්පරයකට නැවතුණා සේ දැනුණි.

“මොනවා දෙවියනේ කෝ දැන් කෝ?” තරුණියට උන්හිටි තැන් අමතක විය.
“දන්නෙ නෑ දැන් පැය බාගෙකට වැඩියි ආපහු ගියාද දන්නෙ නෑ.”

තරුණියට තමාව කලාන්ත වීගෙන එනවා සේ දැනුනි..නෙත් දෙකට කඳුලු පිරීගෙන ආවේය.
ඇය පිස්සියක් මෙන් ආපනශාලාවටත් අනතුරුව ප්‍රධාන ගේට්ටුව දෙසටත් දිව ගියාය.

ඔහුගේ සලකුනක් හෝ නොවිය

සජාන් විසින් පවසන ලද ජීවිත කතාව කුඩා කාලයේ අහම්බෙන් නැරඹූ "සදාකල් රැඳේවා" චිත්‍රපටයේ මවක් නොමැතිව කුඩම්මාගේ කෙනෙහිලිකම් මැද හැදී වැඩුණු කුඩා පිරිමි දරුවා ගැන ඇති වූ සංවේගය මෙන්ම එයද ඇගේ සිතට දැනුණි.
එහෙත් ඒ හැඟීම රැඳුණේ විනාඩි කිහිපයක් පමණි.
මිහිරන් තමාව සොයා ආ බව ඇසුණු මොහොතේ, ඇගේ සිතේ සජාන් වෙනුවෙන් ඇතිවූ දුක තව හිරුදුටු පිනිමෙන් අතුරුදහන් විය. මිහිරන් මග හැරගැනීම ගැන ඇය තමාටම දොස් පවරා ගත්තාය. ඔහු මුන ගැසීමට නොහැකිවීම ගැන හදවත හඬාවැටෙන්නට පටන් ගත්තේය. පුපුව තුල ගිනි ජාලාවක් ඇවිලෙන්නා සේ ඇයට දැනුනි.

මිහිරන් පැමිණ තමා සෙවූ බව සඳනිගෙන් දැනගත් මොහොතේ සිට ඇය ඔහු සොයා අමාත්‍යාංශ පරිශ්‍රය පුරාම ඇවිද ගොස් හති වැටී තිබුණි.

' අයියෝ මේ සජාන්ටත් අදම එයාගෙ කතාව කියන්න ඕනි උනා.'
තමාටම කොඳුරා ගනිද්දී දෑස් වල කඳුළු පිරෙන්නට විය.
මෙතුවක් දවස් දෑස් රිදෙන තුරු ඔහුගේ රුව දැකගැනීමට පෙරුම් පිරූ ඇයට, ඔහු පැමිණි දිනයේම ඔහුව මග හැරීම දෛවය තමන්ට කළ සරදමක් සේ දැනුණි.

තමා තරුණයෙකු සමග ආපනශාලාවේ කතාබහ කරමින් සිටිනු ඔහු දුටුවේ නම් ඔහු කුමක් සිතනු ඇතිද. ඊයේ සවස සිදුවූ අහඹු සිද්දියක් හේතුවෙන් සජාන් හා කතාකිරීමටත් ඔහු කියන දෙය අසා සිටීමටත් සිදුවූ බව මිහිරන් නොදනී.
ඔහු තමන් සජාන් සමගින් කතාකරමින් සිටි බව දුටුවා නම් ඔහු එය කෙසේ වටහා ගත්තාද පවා සිතා ගත නොහැකි විය.

තරුණියගේ සිත ව්‍යාකූල වී තිබුණි. ඔහු ගෙදර ගියාද යලිත් ඔහුගේ සේවාස්ථානයට ගියාද හෝ නොදනී.

එබැවින් දුරකථන ඇමතුමක් දීමට පවා තවමත් වේලාසන වැඩිය.
බලාපොරොත්තු සුන්වූ තරුණිය වෙහෙසකාරී බවින් යුතුව යලිත් ශාඛාව වෙත පැමිණියේ අවුල් වූ මනසකිනි.

ඇය පැමිණෙන විට සජාන් ඇතුලු පිරිස ඔවුන්ගේ කාර්‍ය අවසන් කොට පිටව ගොස් තිබුණි.

" කොහෙද මනුස්සයො අතුරුදහන් වුනේ සජාන් හැම තැනම හෙව්වා කියල යන්න"
ඇය එන මග බලා සිටි මලින්ද ඇයට සැර විය.

"අයියෝ එයා හින්ද තමයි මේ සේරම" ඇයට එක්වරම කියවුනි.

" මොකක් ඇයි ඌ මොකද කලේ "

තමා නොසිතා ඔහු ඉදිරියේ පැවසූ දෑ පැහැදිලි කර දෙන්නේ කෙසේදැයි ඇයට සිතාගත නොහැකිවිය.
ඊයේ හවස වූ සිද්දියත් සජාන් එයට සමාව ගැනීමට උදෑසන ආපනශාලාවේ කතාකර කර සිටීමෙන් තමාට මිහිරන් මග හැරුනු බව ඔහුට කිව නොහැක. එතරම් දිග විස්තර යක් ඔහු හා පැවසීමට තරම් මානසිකත්වයක් ද ඇයට මෙවෙලේ නොවුනි.

" අද ගොඩක් වැඩ ගොඩ ගැහිල තිබ්බෙ..මේ සජාන්ලගෙ වැඩ නිසා ඒවත් හිරවෙලා .මට පොඩි වැඩකට මිනිස්ට්‍රි එකට යන්නත් තිබ්බා "
ඇය මලින්දගේ දෝෂාරෝපනයෙන් මීදීමට පැවසීය.

" හරි හරි එහෙනම් කෝල් එකක් දාලා තෑන්ක්ස් කරනවකො උටත් තව ක්ලයන්ට් අපොයිමන්ට් එකක් තියෙනව කිව්ව නැත්තම් තව ටිකක් වෙලා ඉන්නව කිව්ව"
ඔහු කට කොනට සිනහවක් නගාගෙන පැවසීය.

" ඇයි ඔයා හිටියෙ. තෑන්ක්ස් කරෙ නැද්ද මේක ඔයාගෙ සබ්ජෙක්ට් එක නෙ " තරුණිය පැවසුවේ මදක් නොරිස්සුමෙනි.

" සබ්ජෙක්ට් එක මගෙ උනාට මේක දැන් ඔයාලගෙ වැඩක් නෙ. ඉස්සරහටත් ඔය මැෂින් වල හදිසියෙ ප්‍රශ්න ආවොත් ඉක්මනට හදෝ ගන්න එහෙම මිනිහව ශෙප් එකේ තියාගන්න එපැයි " මලින්ද විනෝදනාගේ තරහ නිවීමට මෙන් යාප්පුවෙන් පැවසීය.

" හා හා පස්සෙ කෝල් එකක් දෙන්නම් හැබැයි අර මහ ලොකු ගඩොල් බාගෙට නම් කතා කරන්නෙ නෑ " විනෝදනා එය නම් පැවසුවේ සැබෑවටම තරහ ගොසිනි.
මලින්ද එයට කිසිවක් නොකියා සරදම් සිනහවක් පමනක් නගාගෙන ඔවුන්ගේ ශාඛාව දෙසට ගියේය.

තමන්ගේ ශාඛාවේ පිරිස යුහුසුළුව අලුත් ශාඛාවේ තමන්ට කැමති අසුනක් වෙන්කරගෙන ලාච්චු අස් කරමින් සහ තම අසුන් සකස් කරමින් සිටියෝය.

" කොයි ලෝකෙ යනවද මන්ද අපි දෙන්න හිටි නිසා හොඳයි අන්න අපි එකලඟ සීට් තුනක් සෙට් කරගත්තා " නිම්සරා පැමිණ දෝශාරෝපනය කලාය.

විනෝදනා සිටියේ හොඳටම හෙම්බත් වීමෙනි.
" අනෙ මට වතුර බෝතලේ ගෙනත් දෙන්න "

ඇය උන් තැනම අසුනක් බලා වාඩිවිය.

යෙහෙලියගේ මුහුනේ ඇති විඩාව සහ වේදනාව හඳුනාගැනීමට නිම්සරා ට අපහසු නොවීය.

"විනෝ මොකෝ මේ බලන්නකො මූනෙ හැටි " නිම්සරා විමසුවේ ඇය කුමක් හෝ දෙයකින් පීඩාවට පත්ව ඇතිබව දැනීමෙනි.

" ආ මෙන්න වතුර " සඳනි වතුර බෝතලය ඇයාත තැබීය.

එක හුස්මට වතුර බෝතලය බීගෙන ගිය ඇයගේ නෙත් කෙවෙනි අග කඳුළු කැට කඩා වැටෙන්නට විය.
" ඒයි මේ මොකෝ මිහිරන් හම්බුනෙ නැද්ද " සඳනි ඇගේ අතකින් අල්වාගෙන විමසීය.

" ආ ඒකද මෙයා අවුල් ගිහින් ඉන්නෙ අපි ඔයාව හෙව්ව නෙ හැම තැනම මිහිරන් ආපු වෙලේ මලින්ද ගෙනුත් ඇහුවා මිනිහ කිව්ව දැන් හිටියා කොහාට ගියාද දන්නෙ නෑ කියල " නිම්සරාද පැවසීය.

" ඔය මිනිහගෙ බොරු ... එයා දන්නව මම සජාන් එක්ක කැන්ටිමට ගිය බව" විනෝදනා පැවසුවේ කඳුලු අතරිනි.

" සජාන් එක්ක ? ඒ මොටද" සඳනි ගේ නෙත් වල ප්‍රශ්නාර්තයක් රැඳී තිබුණි.

"හයියෝ ඒ වෙන ප්‍රශ්නෙකට. අනේ පස්සෙ කියන්නම් ද මගෙ ඔලුව විකාරයි අයියෝ මිහිරන් ගියාද දන්නෙ නැ කැන්ටිමටත් . අපි කතාකර කර හිටිය දැක්කද දන්නෙ නැ " විනෝදනා කඳුළු පිසදමනි පැවසීය.

" ඒකනම් දන්නෙ නැ. හදිසියෙ කමිශනර්ගෙන් මොකද්ද එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ගන්න ආවෙ කිව්ව ඉක්මනට යන්න ඕනි කතාවකුත් කිව්ව එහෙමම ගියාද දන්නෙ නෑ " සඳනි පැවසුවේ නිම්සරා දෙසද බලමිනි.

" විනෝ දැන් ඉතින් අඬ අඬ කල්පනා කරල වැඩක් නැ අපි හිතුවට වඩා ඔයා මිහිරන් ගැන හිතනව නේද ඔය වගක් දන්නව නම් අපි එයාව නවත්තගෙන ඔයාව කොහෙන් හරි හොයාගෙන එනවා" නිම්සරා පැවසුවේද දුකින් මෙනි.

" අනේ මන්ද මෙයා වොරි වෙන තරම් එයාට නම් කැක්කුමක් තියේ කියල මම හිතන්නෙ නෑ..නැත්තම් කොහොම හරි හම්බෙලානෙ යන්නෙ" ස‍ඳනි පැවසුවේ නෝක්කාඩු ස්වරූපයෙනි.

" හරි මේ දැන් අපි ටේබල්ස් ඇරේන්ජ් කරගමුද නැත්තම් අනෙත් අය බලයි ඇයි මේ කියල" නිම්සරා පැවඩුවේ දෙදෙනාගේම අත්වලින් අදිමිනි.

එදා දවසම කිසිදු වැඩක් කිරීමට සිත හදාගැනීමට ඇයට නොහැකිවිය. සවස් වනතුරු කාලය ගෙවා දැම්මේ නොඉවසිල්ලෙනි.

කාර්‍යාලය නිමවූ විගස ඇය නිවසට ගියේ වෙනදා නොමැති කලබලයකිනි. හවස්වරුවේ ම ගණකාධිකාරි වරයා අසුනේ සිටි බැවින් එතනින් ඇමතුමක් ගැනීමට ඇය පැකිලුනි.

නිවසට යනවිට සොහොයුරා ද පැමිණ නොසිටීම ඇගේ සැනසීමට හේතුවිය.

ඇය ඒ ඇඳුන් පිටින්ම සෝෆාවේ වාඩිවී මිහිරන්ගේ නිවසේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තාය. දුරකථනය කිහිපවරක්ම නාද වුවද කිසිවෙක් එය හා සම්බන්ධ නොවූ තැන තරුණියට ඉවසා ගත නොහැකි විය.ඇය යළිත් වරක් උත්සහ කළාය

" හලෝ"
අවසන එහා පසින් කාරුණික හඬක් සවන වැටුන කල ඇය සැනසුම් සුස්මක් හෙලුවාය.

ඇය මිහිරන්ගේ මව බව තරුණිය හඳුනාගත්තාය.

" ආ අම්මා මිහිරන් ඉන්නවද මම කලින් ඔෆිස් එකෙන් අර දවසකුත් කතා කලේ"

" ආ ඔව් දුව මට මතකයි.පුතා නම් නෑ දුව "

ඇය කාරුණිකව පැවසීය

" ආ එනකොට තාම රෑ වෙනවද"

" නෑ දුව පුතා අද ඇමරිකා ගියා ට්‍රේනින්ග් එකකට"

ඇය පවසනවාත් සමගම තරුණියගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.
මවගේ ඇයට ඇසුණේ දුරකථනයේ අනෙක් පසින් නොව, හදවත ඇතුළතින් නැගුණු පිපුරුම් හඬක් ලෙසිනි.

" ඇ..ඈමරිකා ගියා" ඇය අපහසුවෙන් වචන ගොනු කරගත්තාය.


“ ඔව් දුව මාසෙකට කියලයි ගියෙ නම්...ඒත් කාලෙ දික්වෙන්නත් පුළුවන් කිව්වා...අපිත් මේ පුතාව එයාපෝට් එකට ඇරලවල ගෙට ගොඩ උනා විතරයි."

තරුණියට කතා කර ගැනීමට පවා නොහැකි වන තරමට හදගැස්ම වැඩිවිය. එය ඔහුගේ මවට දැනෙන්නට පෙර ඇය ඇමතුමෙන් සමුගත්තාය.
" හරි අම්මා මහන්සි ඇතිනේ මම තියන්නම් එහෙනම් බුදුසරණයි "

" බුදුසරණයි දුව"

දුරකථනය විසන්දි කල ඇයට නෙත් අගින් වෑහෙන කඳුලු නවතාලිය නොහැකිවිය.

නිවසේ කිසිවෙකු නොසිටීම නිසා දුක තුනී වී යනතුරුම හැඬුවාය..

'අඩුම ගානෙ ඔච්චර දුර ගමනක් යද්දි විශ් කරන්නවත් බැරි උනා ' ඇය තමාටම දොස් පවරාගනිමින් හඬන්නට විය. සජාන් කෙරෙහිද ඇතිව තුබූ දුක යටපත් කරගෙන අහේතුක තරහකින් සිත පිරීගියේය.

' ඊයෙ හවස කොහෙවත් යන ගැනියක් ඇඟට කඩා පැන්න එල තමා සේරටම මුල. ' කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු මෙන් ඇය සජාන්ටත් ඔහුගේ නෑනාටත් සිතින් බනිමින් සිටියාය.

රාත්‍ර්‍රි ආහාර පිළියෙල කිරීමට වත් ඇයට කිසිදු පිරියක් නොතිබුණි.
මව සහ සහෝදරයා දෙදෙනාම සතුව ඉදිරිපස දොරේ අමතර යතුරක් තිබුණු බැවින් ඇය ඇඟපත සොදාගෙන උණු තේ කෝප්පයක් සාදාගෙන ඔනෑවට එපාවට මෙන් පානය කලාය.

තේ කෝප්පය පසෙක තැබූ ඇය කොට්ටය බදාගෙන කඳුලු සලන්නට විය. යලිත් මිහිරන් හා කතා කරන්න ලැබෙනුයේ කවදාදැයි සිතාගැනීමටවත් නොහැක. අවම වශයෙන් උදෑසන මොහොතකට හෝ ඔහුව දක්නට ලැබුනා නම් මෙතරම් දුකක් නොදැනෙනු ඇත.

ඇයව වඩාත්ම වේදනාවට පත් කලේ සජාන් සහ තමා ආපන ශාලාවේ කතා කරමින් සිටි අයුරු ඔහු දුටුවේද කියායි. එය ප්‍රේමනීය කතා බහක් නොවුවත් දුර සිට බලන්නෙකුට එය කෙලෙස පෙනුනාදැයි ඇය නොදනී

කඳුලූ සලමින් කල්පනා කරමින් සිටි ඇයට නොදැනීම මද වේලාවකට නෙත් පියවී තිබුණි.ඇය එක්වර තිගැස්සී නැගිටුනේ මවගේ කට හඬ් ඇසීමෙනි.

“මේන් මෙයා කලින්ම නිදි අද ..දොර ලොක් කරල තියෙන කොට මම ඒත් හිතුව තාම ඇවිත් නැද්ද කියල…මොකෝ මේ නිදි අසනීපයක්ද”

“මහන්සි ඔලුව රිදෙනව අද අලුත් බ්‍රාන්ච් එකට බඩු ඇද්ද” ඈය මවගේ ගෝරනාඩුවෙන් මිදීමට පැවසීය.

“ඉන්නෙ හරියට පිට කොටුවෙ මුට්ට කරගැහුව වගේ” පවසාගෙන
මව සාලය දෙසට යනු ඇසුනි.

“මේ අරයා අද උයල නෑ . හන්දියට ගිහින් පාන් රාත්තල් දෙකක් වත් ගේනවද මම පාන් කන්න මොනව හරි හදන්නම් . කොල්ලත් දැන් එන්නෙ හොඳටම බඩගිනි වෙලා” මව හඬ නගා පියාට පවසනු ඇයට ඇසුනි.
ඒ රාත්‍රිය ඇය මෑතකදී ගෙවා දැමූ අසීරුම රාත්‍රිය විය.හඬමින් සුසුම් හෙලමින් වෙහෙසට පත්වූ ඇගේ ගතේ වෙහෙස නිසාම එළිවන ජාමයේ යන්තම් පැය කිහිපයකට නිදිදෙව් දුව ඇය කරා පැමිණ තිබුණාය.

පසුවදා ඇය කාර්‍යාලයට ගියේය ඔනෑවට එපාවට මෙනි. මව උදෑසන ආහර පිළියල කර ගොස් තිබුනු බැවින් ඇය ඇති වෙන තුරු නිදාගත්තාය.
කෙසේ හෝ කාර්‍යාලයේ වැඩ කටයුතු කිරීමට ඇය ආයාසයෙන් සිත හදා ගත්තාය.
‘ඔයා ආපහු එනකම් මමත් මගේ ගමන නවත්තන්නෙ නෑ මිහිරන්…’ඇය තමාටම මුමුණාගත්තාය.

ගණකාධිකාරි වරයා අසල තිබෙන අභ්‍යන්තර දුරකථනයට ඇමතුමක් පැමිණියේය. ඇය ගණකාධිකාරි වරයාගේ මේසයට ආසන්නම අසුනේ සිටින බැවින් දුරකථනයට ඵිළිතුරු දිනි.

මතු සම්බන්ධයි
************************************

වසර දෙදහ නව මිලේනියමයේ උදාවත් සමඟ, ජංගම දුරකථන හෝ අන්තර්ජාල සබඳකම් සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත නොවූ යුගයක, සීමිත සන්නිවේදන පහසුකම් නිසා මුහුන දුන් ගැටලුද හාස්‍ය සහගත සිදුවීම්ද අතරින් ගලා ගිය පරිගණක හා තොරතුරු තාක්ෂණය රාජ්‍ය සේවයට අලුතින් පිවිසෙමින් තිබියදී ‍රජයේ ආයතනයක සේවක පිරිසක් හා ඔවුන්ගේ නිවෙස් වටා සිදුවන සිදුවීම් සමුදායක් මැද දලුලා වැඩුනු ආදර අන්දරයක් සහිත අතීතකාමයෙන් පිරුණු කතාවකි.

අපහාසය නොව උපහාසය පමනක් මුසුවූ මෙම කතාවේ එන නම් ගම්, ප්‍රධාන චරිත, ආයතන , දෙපාර්තමෙන්තු හා අමත්‍යංශ පරිශ්‍රය මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න.

සඳුදා බදාදා සිකුරාදා සෙනසුරාදා සවස 4 ට හමුවෙමු.

මිලේනියම් සක්කරවට්ටම්  -30“තෑන්ක්ස් සජාන් අපි ගෙදරින් කෑම ගේනවනෙ. අපි මේ පැයකට පොඩි වැඩකට එලියට ආවෙ ඩියුටි පිටින් . අපි ...
31/08/2026

මිලේනියම් සක්කරවට්ටම් -30

“තෑන්ක්ස් සජාන් අපි ගෙදරින් කෑම ගේනවනෙ. අපි මේ පැයකට පොඩි වැඩකට එලියට ආවෙ ඩියුටි පිටින් . අපි ඉක්මනට යන්න ඕනි. බායි එහෙනම්”
ඔවුන් දෙදෙනා සුහදව ඔවුන්ට සමුදී දිව විත් අද්දන්නට ඔන්න මෙන්න තිබූ බසයකට නැගුනි

“මේ මිනිහා නිම්සරා ගැන අහුව නේද එදත් මම් දැක්ක හොරෙන් බලනව” බසයට නැගුනු ගමන් සඳනි කෙඳිරිය.

“නිම්සිත් කිව්ව නේද පොර හැන්සම් කියල.. එයා කැමති වගේ නම් පොඩ්ඩක් හොයල බලමු” විනෝදනාද පැවසීය.

“ඒක නෙමේ අර ඔයාට ප්‍රොපෝසල් ගෙනාපු බෝයි බඳින්න කෙනෙක් හොයාගෙනද” සඳනි හදිසියේ මෙන් යමක් මතක් වී විමසීය.

“දන්නෙ නැ අනේ මම මෙහෙ ෆික්ස් එකක් දාන්න එන බව අක්කටවත් කිව්වෙ නෑ. එයා තමයි අර මගෙ ළදරු ගිනුමෙ සල්ලි අරන් ෆික්ස් දාලා ඒකෙන් ලෝන් අරන් කෝස් එකට ගෙවන්න කියල කිව්වෙ හැබැයි.
ඒත් මම දැන් මෙහෙම ෆික්ස් එකක් දාන්න යනව කියල දැනගත්තනම් කොහොම හරි ඕක ගෙදරටත් කියල විරාන් අයියගෙ බ්‍රාන්ච් එකට යවනව මාව. ඒකෙනෙ සසංකත් ඉන්නෙ. ආයෙ නිදන් ඉන්න නයි නැගිට්ටෝගන්නෙ මොටද මම”

“ ඒ උනාට මට නම් හිතෙන්නෙම අපරාදෙ කියල”සඳනි පැවසුවේ බසයේ සෙනගට නෑසෙන සේ සෙමිනි.

“මට කොහොමත් දැන්ම බඳින්න බෑ. ඔයාට නම් වෙන කවුරු හරි ඇවිත් අහන්න කලින් ඔයා කැමති කෙනා හම්බුන නිසා ප්‍රශ්නයක් නෑ.නැත්තම් ඔයාටත් තේරෙයි අපි ඉන්ට්‍රස්ට් එකක් නැති කෙනෙක් ව මැරි කරන්න කිව්වම දැනෙන කරදරේ. හිතට හරියන කෙනා නැතුව වෙන කාගෙන්වත් ඇති වැඩේ මොකද්ද “ විනෝදනා පැවසුවේ ස්ථිර හඬකිනි.

“අනේ මන්දා ඔයා තාමත් අර මිහිරන් ගැන හිතාගෙනද ඉන්නෙ මට නම් මිනිහව පොඩ්ඩක් වත් විශ්වාසනෑ. මහ අද්භූත මනුස්සයෙක්” සඳනි පැවසුවද විනෝදනා ඇය නිවරදි කරන්නට නොගියාය.

***************************

ගණකාධිකාරි කාමරය නවීකරනය විය. පරිගණක තැබීම සඳහා විශේෂ හැඩයට අලුතින්ම සාදන ලද මේස කිහිපයක්ද සවිකර තිබුණි.

“විනෝදනා අර කොම්ප්ටෙක් එකෙන් එවපු කොටේශන් ඇපෲ වෙල තියෙන්නෙ. අපි බ්‍රාන්ච් එකේ වැඩ ටික ඉවර වෙනකම් ගේන්න එපා කිව්වනෙ . පොඩ්ඩක් කෝල් එකක් දීල මිස්ටර් සජාන්ට පණිවිඩේ දෙනවද බඩු ටික එවන්න කියල.” කරුණානන්ද මහතා පවසන විට ඇය හිස සලා එකඟ විය.

පරිගණක ගනුදෙනුවට අදාළ ලිපි ගොනුවෙන් කොම්ප්ටෙක් ආයතනයේ නොම්මරය ගෙන දෙතුන් වතාවක්ම සජාන්ට ඇමතුම් ලබාදුන්නද ඔහු අසුනේ නොවීය.

ඔහු පැමිණි පසු තමාට අමතන ලෙස පනිවිඩයක් තැබුවද හවස්වනතුරුම ඔහුගෙන් ඇමතුමක් නොලැබුනි.

ගණකාධිකාරිවරයා හවස අසුනේ නොසිටි බැවින් ඔහුට ඒ පිළීබඳව දැනුම් දීමට ක්‍රමයක්ද නොමැති විය.

කලයුත්තේ කුමක්දැයි සිතමින් නිවසට යන විට එක්වරම ඇයට මතක් වූයේ සජාන් සෙලියුලර් දුරකථන අංකයක් සහිත නව ව්‍යාපාරික කාඩ් පතක් ඇයට ලබාදුන් බවය.
‘අයියෝ අපරාදෙ මට ඒක මතක් නොවුනෙ ඇයි’ ඇය තමාටම දොස් පවරාගනිමින් නිවස වෙත ගියාය.

‘කමක් නෑ සෙලියුලර් ෆෝන් එකට ගෙදරින් කෝල් එකක් දීල බලනව’
ඇය සේවය නිමවී පැමිණි ඇඳුම් පිටින්ම සජාන් ගේ ව්‍යාපාරික කාඩ්පතද ගෙන දුරකථනය අසල වාඩිවූයේ තවත් ප්‍රමාද නොවී ඔහුට පණිවිඩය දීමට ඇවැසි බැවිනි.

ඇයද මීට පෙර ජංගම දුරකථනයකට අමතා නොතිබුණි. ඇය අදාළ අංකය ප්‍රවේශමෙන් අංකනය කර රිසීවරය කන තබාගෙන සිටියාය.
අනිත් පසින් එය නාද වෙනවා ඇසුනි.

“හලෝ” අනිත් පසින් දුරකථනයට සම්බන්ධ වුවත් එය කාන්තා හඬක් විය.

“හලෝ මිස්ටර් සජාන් ඉන්නවද”

ජංගම දුරකථනය ඔහුගේ නම් කාන්තාවක් අමතන්නේ කෙසේදයි සිතුවිල්ල ඇති වුවත් සමහර විට ඔහුගේ පුද්ගලික ලේඛම්වරිය විය හැකියැයි තරුණියට සිතුනි.

“ඔව් ඉන්නවා ……. බට් වූ ඉස් දිස්” තරුණිය මදක් ආවේගශීලීව විමසීය.

“ අයි ඈම් විනෝදනා. ඉස් දිස් රොශෙල් “ ඔහුගේ පුද්ගලික ලේඛම් වරියගේ නම සිතේ කොනක තැන්පත් වී තිබීම ගැන ඇය සතුටට පත් විය.

“ආ රොශෙලුත් දන්නව එහෙනම්. ඕකි තමයි සේරම හොර වැඩවලට උදව් කරන්නෙ ..ඔයාද මේයාගෙ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ්..මම හිතුවා මාව මග අරිනකොට මොකකට හරි පැටලිලා ඇති කියල.”
විනෝදනා තුෂ්නිම් භූත විය. මේ මොන මරාලයක් කඩාපාත් වූව්වාදැයි ඇයට එකවරම සිතා ගත නොහැකිවිය.

“ මෙහෙට දෙනව…ෆෝන් එක පිස්සුද තමුසෙට……හලෝ අයි ඈම් රියලි සොරි හූ ඉස් ස්පීකින්ග් දෙයා” එහා පසින් කතා කල තැනැත්තියට බනිමින් දුරකථනය හා සම්බ්න්ද වූ සජාන් ගේ කටහඬ ඇසෙන විට තරුණියට සැනසුම් සුසුමක් හෙලුනි.

“සජාන් මම් විනෝදනා….”
“අනේ සො‍රි විනෝදනා පොඩි වරදීමක් වෙලා මම් ඔයාට පස්සෙ එක්ස්ප්ලේන් කරන්නම් ඔයා හදිසියෙම කතාකලේ මොකක් හරි උවමනාවකටද”

“සජාන් මම ඔයාට හවස් වරුවම කෝල කලා ඔෆිස් එකට.අපේ බ්‍රාන්ච් එකේ වැඩ්ද ඉවරයි .සර් කිව්වා මැෂින් ටික හෙට ඩිලිවර් කරන්න කියන්න කියලා”

“ෂුවර් ඩියර් හෙට අනිවාර්‍යෙන්ම එවනවා…අගේන් සොරි ෆොද ඉන්කන්වීනියන්ස්…….මම ඔයාට….”

“ඉට්ස් ඕකේ සජාන් බායි දෙන්”

ඔහු තවත් යමක් පැහැදිලි කරන්න උත්සහ කලත් විනෝදනා දුරකථනය විසන්දි කලාය.

සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැකිව තරුණිය සෝෆාවේ සිටි තැනම ගල් ගැසී සිටියාය.

‘කව්ද ඒ කෙල්ල මොකටද මට බැනගෙන බැනගෙන ගියේ සජාන් ගෙ වයිෆ්ද .ඒත් ඇයි මට බනින්නෙ’ ඇයට කිසිවක අගක් මුලක් සිතා ගත නොහැකි විය.

ඔහු මුද්දක් පැලැඳ සිටියාදැයි මතක් කරගැනීමට ඇය උත්සහ දැර්‍රිය. එවැන්නක් පිළිබඳ ඇයට ලොකු මතකයක් නොවුනි.
‘අනෙක් අතට තමා අලුත් පෙම්වතියදැයි විම්සුවේ ඇය පරන පෙම්වතියද.’

එහෙත් සජාන් හා රාජකාරි මට්ටමෙන් කතා කලා මිස අවම් වශයෙන් ආපන ශාලාවේ තේ පානයට හෝ නොගිය තමාට නැගුනු චෝදනාව කුමක්දැයි ඇයට සිතා ගත නොහැකි විය.

ඇයට වැරදීමක් වී ඇතුවා නිසකය. කෙසේ වෙතත් මෙය තමාට අදාළ දෙයක් නොවන බැවින් මව්පියන් පැමිණීමට පෙර රාත්‍ර්‍රි ආහාර සූදනම් කලයුතු යැයි සිතා ඇය උයන ගෙය දෙසට ගියාය.

පසුවදා උදේ දහය වන විට අදාළ ආයතනයෙන් පරිගණක ගෙනවිත් සවි කරමින් තිබුණි. මලින්දටද එම වැඩකටයුතු නිරීක්ශනය කරන ලෙස ගණකාධිකාරි වරයා දැනුම් දී තිබුනු බැවින් ඔහුද එහි රැඳී සිටීම තරුණියට විශාල සහනයක් විය.

ඔවුන්ගේ වැඩ කටයුතු කෙරීගෙන යද්දී සජාන් පැමිණ අඩු පාඩු සොයා බැලීය. අනතුරුව ඔහු ඇය අසලට පැමිණියේය

“මිස් විනෝදනා ඊයෙ උන දේට එක්ස්ට්‍රීම්ලි සොරි මට ඔයාට ඒ ගැන පැහදිලි කරීමක් කරන්න ඕනි ප්ලීස් මට පොඩ්ඩක් කතා කරන්න පුලූවන්ද”

“ඒක මොකක් හරි වැරදීමක් වෙන්න ඇති කියල මට තේරුනා මිස්ටර් සජාන් ඉට්ස් ඕකේ” තරුණියද එය එතරම් ගනන් නොගත් බවක් පෙන්වීය.

“ඔව් ඒත් මට ඔයාට ඒක පැහැදිලි කරන්න ඕනි.නැත්තම් හදිසියකටවත් ඔයා ආයෙ මගෙ සෙලියුලර් එකට කෝල් කරන එකකුත් නෑ” ඔහු ඉතාම සං‍යමයකින් පැවසීය.

“ ම්දැයි මාත් ෆස්ට් ටයිම් සෙලියුලර් එකකට කෝල් කලා. මම හිතුවෙ ඒක ෆෝන් එකේ රෙකෝඩින් එකක් කියල” විනෝදනා ද ඔහුව සිනාගස්සමින් පැවසීය.

“අනේ විහිලු නෙමේ මිස් විනෝදනා පොඩ්ඩක් කැන්ටින් එකට ගිහින් කතා කරමුද”
ඔහු නොනවත්වාම ඇවිටිලි කරන්නට විය.

“අපෝ බෑ මෙතන වැඩ ටික බලාගන්න ඕනි නේ”

“හරි හරි මම මලින්දට කියන්නම්. ඔයා මේ රජයේ සේවයට ඕනිවටත් වඩා වැඩ කලාට මේක මලින්දගෙ ජොබ් එක නෙ”

“හරි හරි යංකො..හැබැයි ඉක්මනට එන්න ඕනි හරිද” විනෝදනා ඔහුගෙන් බේරිම්ට බැරි තැන ඔහු පසු පස ආපන ශාලාවට ගියාය.

“මොනවද කන්නෙ” ඔහු කෑම කවුන්ටරය දෙසට යමින් විමසීය.

“අනේ මට මොකුත් කකා ඉන්න බෑ ඔයාට කියන්න තියෙන දේ ඉක්මනට කියල යමුකෝ අතන වැඩ තියෙනවනේ” තරුණිය පැවසුවේ වට පිට බලමිනි.

“පොඩ්ඩක් ඉන්න එහෙනම්” ඔහු ගොස් බෝතල් කල පලතුරු යුෂ දෙකක් රැගෙන පැමිණියේය

ඔහු තරුණියට ඇසෙන් ඉඟි කර ආපන ශාලවේ නිදහස් කෙලවරක ඇති මේසයක් කරා ගමන් කරද්දි ඇයද ඔහු පසු පස ගියාය

තරුණිය වෙත බීම බෝතලයක් පිරිනැමූ ඔහු තමා අසල අසුනේ වාඩි වන ලෙස ඉඟි කලේය.

“මම දවසකුත් ඔයාට කියන්න ගියා මගෙ කතාව ඔයා ඇහුවෙ නෑනේ “ ඔහු ගැඹුරු හුස්මක් ගෙන පැවසීය.

“මට ඉතින් මොකටද ඒ කතා.අනෙක මට එහෙම වෙලාවකුත් නෑනෙ මෙහේ එහෙම කතා අහ අහ ඉන්න”

“ඔයා වගේ රජයෙ සේවකයො දහ දෙනෙක් හිටියොත් මේව සුර පුර වෙලා තියේවි” ඔහු පැවසුවේ සිනහ සෙමිනි.

“අනේ බටර් ඕනි නෑ . ඉක්මනට කියන්න ආපු එක කියන්නකො” තරුණියට අවශ්‍ය වුයේ හැකි ඉක්මනින් ඔහුට කීමට ඇති දෙයක් අසාගෙන එතැණින් නික්ම යාමටය.

“එහෙත් ඔහුට හදිසි පාටක් නොපෙනුනි. දිගු හුස්මක් ගත් ඔහු කතාවට මුල පිරීය”

“මගෙ අම්ම නෝත් ඉන්දියන් ලේඩි කෙනෙක්. තාත්තා බිස්නස් වැඩ වලට ඉන්දියා ගිහින් ඉන්නකොට තමයි ඒ දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙලා බැඳල තියෙන්නෙ.

සීය නැති උනාම තාත්තට මෙහෙ බිස්නස් බලාගන්න ආපහු එන්න වෙලා. ඒත් අම්ම එයාලගෙ දේවල් දාල මෙහෙ පදිංචියට එන්න කැමති වෙලා නෑ. ඒ දෙන්න අතර ප්‍රශ්න ඇති වෙලා. මට එතකොට අවුරුදු දෙකලු වයස.
තාත්තා මෙහෙට ඇවිත් වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති වෙලා අම්මගෙ වෙන් වෙලා එයාව බැඳල “
ඔහු විස්තර කරගෙන යද්දී නම් තරුණියගේ සිතට ඔහු ගැන දුකක් ඇතිවිය.එහෙත් ඔහු තමාට මෙවා පවසන්නේ ඇයිදැයි ඇයට සිතා ගත නොහැකි විය.

“ඉතින් ඊට පස්සෙ” කෙසේ උවත් ඇයටද කතාව දැනගැනීමේ කුතුහලයක් ඇතිවී තුබුනි.

“තාත්තගෙ මෙහෙ වයිෆ්ටත් දුවෙකුයි පුතෙකුයි ලැබිලා.. ඔය අස්සෙ මගේ අම්ම අසනීප වෙලා නැති වෙල තියෙනව”
“නෑහ් අනේ පව්”
“තාත්තා ගිහින් මාව මෙහෙට එක්ක ඇවිත් . එතකොට මම මොන්ටිසෝරි යන වයසෙ .ඒකයි මම හොඳට සිංහල දන්නෙ මම මේහෙ ඉගෙන ගත්තෙ සිංහලෙන්”

“හරි පුදුමයි නෙ ඔයවගේ කතාවක් මම ෆිල්ම් එකක බලල තියෙනව හැබැයි ඒකෙ උනේ ඕකෙ අනිත් පැත්ත. පකිස්තාන් වලින් ආපු බෝයි කෙනෙක් ලංකාවෙ ගර්ල් කෙනෙක් බැඳලා එයාලට ලමෙකුත් ඉන්න කොට ඒ බෝයිට ආපහු යන්න වෙනව.ගිහින් එයා එහේ වෙන කෙනෙක් බඳිනව
ගර්ල් ලංකාවෙදි මැරුනම පාකිස්තාන් තාත්ත ඇවිත් අර පොඩි බබාව එක්ක යනව.ඒ කුඩම්ම වෙනස් කම් කරනව. ආ මොකද්ද මේ ෆිල්ම් එක සදාකල් රැඳේවා..මම ටිකක් පොඩි කාලෙ බලුවෙ මට හරි දුක හිතුනා ”

ඇය පවසන විට ඔහු සිනාසුනි.

“ඔයාට ෆිල්ම් වල කතා බලල දුක හිතුන නම් ඒවගෙ දෙයක් ඇත්තට උන මම කොහොම දුක විඳින්න ඕනිද.

“අනේ අයි ඈම් එක්ස්ට්‍රීම්ලි සොරි..ඒත් ඊයෙ වුන සිද්දියටයි මේකටයි තියෙන සම්බන්ධය මොකද්ද.” ඇය ඇසුවේ ඔහු යන්නෙ කොහෙද මල්ලේ පොල් වැන්නක් කියවාගෙන ගිය බැවිනි.

“සම්බ්න්දයක් තියෙනව..මෙහෙ අම්ම මට සෑහෙන වෙනස් කම් කලා. එයා හිතුව මම නිසා එයගෙ දරුවන්ට අසාධාරණයක් වෙයි කියල
ඒත් අපේ තාත්තගෙ අක්කා මට අනුකම්පා කරලා මාව හදාගත්තෙ ඒ නැන්දයි මාමායි .

“එතකොට තාත්තා?”
“එයාට ඉතින් බිස්නස් ගැන සිහිය මිසක් මගෙ ගැන බලන්න සිහියක් තිබ්බෙ නෑ”

“සමහර විට නැන්දලා මාව හදගත්තෙ මාව බලාගත්ත නිසා තාත්තගෙන් එයාලට ගොඩක් වාසි තිබුන හින්දත් වෙන්න ඇති. තාත්තා මගෙ වියදමට ඇති තරම් ඒගොල්ලන්ට සල්ලි දුන්නා”

“එතකොට ඊයෙ මට බැන්නෙ කව්ද” තරුණියට අවශ්‍ය වූයේ හැකි තරම් ඉක්මනින් අදාළ කාරනය අසාගෙන කතාව අවසන් කිරීමටය.
තරුණයෙකු සමග ආපන ශාලාවේ තනිවම කතා කරමින් සිටීම මේ ආයතන වල හැටියට නම් එතරම් හොඳ දෙයක් නොවන බව ඇය දැන සිටියාය. අනෙක් අතට මේ රාජකාරි වෙලාවයි.

“ඉන්නකො කියන්න.ඒ තමා මාව හදාගත්තු නැන්දගෙ දුව ඒගොල්ලෝ මගෙ ගැන හෝප්ස් තියන් ඉන්නෙ
මම ඒ ලමයට ලඟදි කිව්වා මට එයාව මැරි කරන්න බෑ කියල”

ඒත් එයා හිතන්නෙ මම එහෙම කිව්වෙ මම වෙන අෆයාර් එකක් පටන් අරන් කියල.එයාට තිස්සෙම මාව සැකයි.ඊයෙත් ඒ ප්‍රශ්නෙ උනේ එයා ගෙ වැරදි වැටහීම් නිසා යි”

“ මට ඒක නම් එවෙලෙත් හිතුනා වලිගෙ පාගන් කෑ ගහනව කියල”
තරුණිය ඉවත බලාගෙන පැවසීය.

“ අයි ඈම් වෙරි සොරි විනෝදනා”

“හරි හරි මම් ඒක එච්චර ලොකුවට ගත්තෙ නෑ. ඉතින්..ඔයා ඉස්සර කැමැත්තෙන් හිටියද එයාට. ඒත් ඔයා ඇයි දැන් එයාට අකමැති ” මෙතරම් විස්තර පැවසූ බැවින් ඇයද නිකමට මෙන් ඇසීය.

“පොඩි කාලෙ ඉඳල අපි හැදුනෙ එකට .එයාට මගෙ අකමැත්තක් වත් විශේෂ කැමැත්තක් වත් තිබුනෙ නෑ. ඒත් මේ ලඟදි මට කියන්න වුනා මගෙ ගැන හෝපස් තියාගන්න එපා කියල”

මතු සම්බන්ධයි
************************************

වසර දෙදහ නව මිලේනියමයේ උදාවත් සමඟ, ජංගම දුරකථන හෝ අන්තර්ජාල සබඳකම් සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත නොවූ යුගයක, සීමිත සන්නිවේදන පහසුකම් නිසා මුහුන දුන් ගැටලුද හාස්‍ය සහගත සිදුවීම්ද අතරින් ගලා ගිය පරිගණක හා තොරතුරු තාක්ෂණය රාජ්‍ය සේවයට අලුතින් පිවිසෙමින් තිබියදී ‍රජයේ ආයතනයක සේවක පිරිසක් හා ඔවුන්ගේ නිවෙස් වටා සිදුවන සිදුවීම් සමුදායක් මැද දලුලා වැඩුනු ආදර අන්දරයක් සහිත අතීතකාමයෙන් පිරුණු කතාවකි.

අපහාසය නොව උපහාසය පමනක් මුසුවූ මෙම කතාවේ එන නම් ගම්, ප්‍රධාන චරිත, ආයතන , දෙපාර්තමෙන්තු හා අමත්‍යංශ පරිශ්‍රය මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න.

සඳුදා බදාදා සිකුරාදා සෙනසුරාදා සවස 4 ට හමුවෙමු.

මිහිරන් ට මොකද  උනේමේ සටහන  ලියන්නෙ  ගොඩක් අයට මේ කතාව කොයි කාලෙ කතාවක්ද  කියල  තේරිලා නෑ කියල හිතුන නිසා.එතකොට මේ කතාවෙ...
29/08/2026

මිහිරන් ට මොකද උනේ

මේ සටහන ලියන්නෙ ගොඩක් අයට මේ කතාව කොයි කාලෙ කතාවක්ද කියල තේරිලා නෑ කියල හිතුන නිසා.

එතකොට මේ කතාවෙ කිසිම රසයක් කියවන කෙනාට නෑ. මොකද එයාල මේකතාව බලන්නෙ අද දවසට සාපේක්ශව

අද දවසෙ ඕනි තරම් කතා කරන්න ක්‍රම තියෙනව. අනික සමාජය වෙනස්. ඒක හොඳද නරකද නෙමී මන කියන්න යන්නෙ
2000 සහ 2026 හාත්පසින්ම වෙනස් පරිසර දෙකක්

අදනම් බහුතරය දවසින් දෙකින් සෙට් උනා කෝල් කලා මීට් උනා . Living together ත් හිටියා . බබ්බුත් හම්බුනාම තමයි තමයි ප්‍රශ්න ටික විසඳන්න ගන්නෙ. අර ක්‍රිකට් ක්‍රීඩකයගෙ කතාව වගේ. උසාවියෙ පහුගිය දවස්වල නඩු ඇහුවෙ, අන්තිමට ලමයගෙ තාත්ත DNA දෙන්නත් බෑලු.

එහෙම කරන අය මම පුදගලිකව දන්නෙ නෑ. කතා කියවල තමා මාත් හිතා ඉන්නෙ අද එහෙමයි කියල.

අපි නම් එහෙම නෑ කියල මට බනින්න එපා. මම කියන්නෙ ඒ කාලෙ මේ කාලෙ පෙම් කතා වෙනස්.

ඒ හින්දයි මම හැමදාම කතාව අග දාන්නෙ.මේක කොයි කාලෙ කතාවක් ද කියල
ඒ කාලෙ මේ අත්දැකීම් තියෙන මාත් එක්ක එකට වැඩ කරපු කීප දෙනෙක් මේක බලනවා.

මට කෝල් කරල බනී එහෙනම් ඒ ගොල්ලො ඒ කාලෙ මෙහෙම උනේ නෑ කියල 🤩

මෙක බාගයක් සත්‍ය බාගයක් මනකල්පිත

ඉතින් මිහිරන් ගියේ තොරතුරු තාක්ශන අංශයෙ රැකියාවකට

රෑ දහය එකොලහ වෙනකන් වැඩ. ඒවයෙ එහෙම call කර කර ඉන්න හම්බෙන්නෙනෑ.

මොබයිල් නෑ. ඒවයෙ direct line use කරන්නෙ විශේශ හදිසි දේකට

මිහිරන්ගෙ අම්ම ඒක කිව්ව නේද විනෝදනාට

අනික විනෝදනත් ඒක දන්නව මොකද එයාට ඒවගෙ company වල වැඩ කල යාලුවො ඉන්නව

මම ඔය government සහ IT දෙකේම වැඩ කල නිසා ඔය environment දෙකම දන්නව

විශ්වාස කරනවද රෑ 1 ට ගෙදර ගිය දවස් තියෙනව. නෑයො තරහ වෙල තියෙනව මගුලට මරනෙකටවත් නෑ කියල. එහෙම තමා project එකක වැඩ ඉවර කරන්න තියෙන කොට

ඉතින් මේ වෙලාවෙ මිහිරන් කතාවෙ නෑ. එහෙම උදේ හවස මිහිරන් call කලා කියල දැම්මොත් ඔයාල සතුටු වෙයි. එතකොට මේක තනිකර අතාත්විකයි

තමන් ගෙ හිත ගිය කෙනා ගෙන් call එකක් තොරතුරක් නැතුව බලා හිටි ගහැනු ලමයි ඕනි තරම් හිටියා.

විශේෂයෙන් පෙම්වතා හෝ සැමිය යුද්දෙට ගිහින් නම් රට ගිහින් නම්, මාසෙකට පාරයි call එකක් වත්දෙන්න වෙන්නෙ

මෙතන මිහිරන්ට දවස ගානෙ call කරන්න බෑ

එහෙම කලොත් මේකතාවෙන් ඇතිවැඩකුත් නෑ.

මේ කියන කාලෙ තරුණ වියේ හිටි අයට මේක තේරෙයි.
සමනල සන්දවනිය film එක බලල තියෙද ඔයාල
සමහර විට ඒ කාලෙ ලදරු වියේ හිටි අයට තේරෙන එකක් නෑ.

මොකෝ එයාල ආදරෙ කරන කාලෙ වෙද්දි මොබයිල් නෙමි whatsapp messenger සෙරම අල්ල උඩ

මිහිරන් කෙනෙක් ගැන නොදන්න සජාන් මෙතනදි විනෝදනාට ට්‍ර්‍යි කරනව

බලමු කවෘ දිනාවිද කියල.

මිහිරන් ට උනේ මොකද කියල කතාවෙ ඉස්සරහට කියනව. එතකන් විනෝදනා හරහා මිහිරන් ගෙ මතකය සහ යම් යම් තොරතුරු කතාවට ගේනව. ඒ කලේ ගෑනු ලමයි එහෙමයි. තමන්ගෙ ආදරේ වෙනිවෙන් ලියුමක් වත් නැතුව අවුරුදු ගානක් බලා ඉඳල තියෙනව.

තව ගොඩක් දේවල් මේකෙ වෙනව. ඒ දේවලට විනෝදනා කොහොම මුහුන දෙයිද ? මේක වෙනස් කාලෙක උන වෙනස් කතාවක්.

නැත්තම් ඉතින් 25 කොටසින් කතාව ඉවර කරන්න තිබ්බ. දෙන්න සෙට් උනා. ඉවරයි කතාව. මේක අද දවසට ගැලපෙන්නෙ නැතුව ඇති. මොකද ඒ කාලෙ ගැන ගොඩක් අයට තේරුමක් නෑ වගේ මට තේරුන නිසා මේ සටහන ලියන්න හිතුනෙ.

කතාව කියවන ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්න ඇති හිතෙනව. ඒ ටික තේරුම් නොගෙන මේ කතාව රසයක් නැතුව ඇති.

ස්තූතියි හැමෝටම🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

මිලේනියම් සක්කරවට්ටම්  -29“ හරි ඉතින් ඔයා මොකුත් වරදක් කරලා නැහැනේ. ඒ හින්දා බය නැතුව යන්න සමහර විට කොමිෂනර්ත් නැති නිසා...
29/08/2026

මිලේනියම් සක්කරවට්ටම් -29

“ හරි ඉතින් ඔයා මොකුත් වරදක් කරලා නැහැනේ. ඒ හින්දා බය නැතුව යන්න සමහර විට කොමිෂනර්ත් නැති නිසා එයා නොදන්න මොනවා හරි අහගන්ඩ එන්න කිව්වද දන්නේ නෑනේ” විනෝදනා ඇයට පැවසුවේ රම්‍යානි මිස්ගේ සිත මඳක් සැදීමටය.

ඇය හිතට දිරිගෙන යන අයුරු දැක ඉහළියන් තිදෙනා ඉඟි මරා ගෙන තමාගේ වැඩවල යෙදී සිටියහ. මදවේලාවකින් පසු රම්‍යානි ඇඹරමින් පැමිණියේ ලිපිගොනුවකුත් අත දරාගෙනය.ඇගේ මුහුන රත් පැහැ ගැන්වී තිබුණි.

“ ආ රම්‍යානි මිස් මොකද වුනේ? ඇයි කමිෂනර් මැඩම් එන්න කියල තියෙන්නෙ”

“ මට හරි ලැජ්ජාව උනේ මට කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑනෙ”. ඇය අතින් මුව වසාගනිමින් පැවසුවේ සැබැවින්ම ලැජ්ජාශිලිවය.

“ඇයි මොකෝ උනේ” යෙහෙලියන් තිදෙනාටද ඇති වූයේ කුතු හලයකි.
“ඇයි අනේ මං අර දස මාසෙ ආපදා ලෝන් එකට ඩයස් ඇස්තමේන්තු දෙන්න බෑ කිව්ව හින්දා මෙඩිකල් එකක්නේ දුන්නේ මං බැලුවෙත් නෑ. අනික ඒක ලියල තිබ්බ ඩොක්ටර් ගෙ අකුරු තේරෙන්නෙත් නෑනේ මෙලෝ මනුස්සයෙකුට” ඇය අසරණ ලෙසින් පැවසීය

“ හරි ඉතින් අතිරේක කොමසාරිස් මැඩම් ඇයි එන්න කියලා තිබුණේ.”

“ අනේ මගෙන් මැඩම් අහනව අනේ රම්‍යානි ඔයාට මෙහෙම ලෙඩක් තියෙනවද අනේ මම දන්නෑනේ අනේ වෙරි සොරි බෙහෙත් ගත්තද සර්ජරි එක අමාරු උනාද ඇයි වැඩට එන්නෙ තව ටිකක් රෙස්ට් කරන්න ඔය වගේ ඒව කිව්ව මට පොලව පලාගෙන යන්න හිතුනා “ඇය දෑතෙහිම අත්ල සොලවමින් නොඉවසිල්ලෙන් පවසන විට යෙහෙලියන්ද මවිතව බලා සිටියෝය.

“හපොයි දෙයියනේ “ සඳනිට කියවුණි.

ඒ ඇසූ විනෝදනාද මුව අත්ලෙන් වසාගෙන අනිත් දෙදෙනා දෙස බැලීය.
“දෙවියනේ හොඳ වෙලාවට අපි අපි මෙඩිකල් දෙන්නේ නැතුව නිවාස ඇස්තමේන්තුවක් දැම්මේ. ඉතින් ඔයා මොකද කිව්වේ”

“ බෙහෙත් එහෙම වෙලාවට බොනවදත් ඇහුව අනේ..මට පොලව පලාගෙන යන්න හිතුනා …මොනව කරන්ඩද. මං ඉතින් හිනාවෙලා අත්සන් කලාට ස්තූතියි කියල ආවා. අඩුගානෙ මේකෙ මට තියෙනව කියල ලියල තියෙන ලෙඩේ මොකක්ද කියලාවත් මං දන්නෙ නෑනේ උත්තරයක් දෙන්න”

යෙහෙලියන්ට සිනහව තද කර ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය.

“හරි හරි දැන් ඉතින් ඕක මැඩම් කාටවත් කියන්න යන එකක් නෑ . රම්‍යානි මිස් ඔයාගේ වැඩේ කෙරුනානේ ඔයා සද්ද නොකර පාඩුවේ ඉන්න.”

“අනේ මේ ඩයස් මාව දාපු අමාරුව දැන් ඉතින් මං මැඩම්ගෙ මූණ බලන්නේ කොහොමද “

මං කියන්නද අපි ඕක මොනවද ලියලා තියෙන්නේ කියලා ටිකක් දන්න කෙනෙක්ගෙන් අහල බලමු .මිස් ඕකේ ෆොටෝ කොපි එකක් දෙන්න කෝ මට” විනෝදනා පැවසුවේ තම යෙහෙලියකගේ මවක් වෛදයවරියක් සිටින බැවින් ඇයගෙන් අසා දැනගැනීමට සිතාය.

“ විනෝදනා මිස් අන්න සර් එන්ඩ කිව්වා “
ඩයස් හදිසියේ මෙන් පැමිණ පැවසීය

“ඇයි දන්නෙ නෑ ඒපාර “ විනෝදනා යෙහෙලියන් දෙදෙනා දෙස බැලීය

“ මං හිතන්නෙ අර අළුතින් කම්පියුටර් ගේන වැඩේ ගැන මොකක් හරි දේකට. මලින්ද මහත්තයත් ඉන්නව මම දැක්ක” ඩයස් තමාගේ දැනුම් තේරුමේ තරමින් පැවසීය.

“ අයියෝ එහෙමද දැන් මලින්දයා ඕකත් මගේ ඇඟේ ගහයිද දන්නෑ” විනෝදනා ගණකාධිකාරි කාමරය වෙත ගියේ සිත යටින් සැපයුම් බාරව සිටි නිලධාරියාට දොස් තබමිනි.

“ ආ එන්ඩ එන්ඩ විනෝදනා මිස්”

ඇය වඩාත්ම මවිතයට පත්වූයේ මලින්ද පමනක් නොව සජාන් ද ගණකාධිකාරි වරයාගේ කාමරයේ සිටි බැවිනි.

‘ සප්ලයි මෑන්ගෙ වැඩ වලට මාව මොකට ගාවගන්නවද මන්දා.’ඇය සිටියේ සිත යටින් බැන වදිමිනි.

“මිස් විනෝදනා එදා මීටින් එකේදි කියපුව අහගෙන හිටියනේද. දැන් අපේ බ්‍රාන්ච් එකටත් කොම්පියුටර්ස් හතරක් හම්බවෙනව. විනෝදනා භාරගන්ඩ ඕනි මේ වැඩේ. එතකොට අපි තෝරගෙන තියෙනවා මුලින්ම මේව ලබා දෙන කට්ටිය විනෝදනාට පුළුවන්නෙ තමන් දන්න දේවල් කියලා මේව මූලිකව පාවිච්චි කරන හැටි කියලා දෙන්න. “

කරුණානන්ද මහතා පවසන දෙයට හිස සැලීම හැර තරුණිය කිසිත් නොකීවාය

අමාත්‍යංශයෙන් වෙනම ට්‍රේනින් එහෙකුත් දෙනවලු ඒ වුණාට හැම තිස්සෙම අමාත්‍යාංශයෙන් කට්ටිය ගෙන්න ගන්න ගියාමත් කරදරයි නෙ. අපේ ඇතුලෙත් කවුරුහරි මේවා ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයිනේ.”

“ඔව් සර්”

“ආ අනික දැන් මේ මිස්ටර් සජාන්ලගෙ කම්පැනි එකෙන් තමයි අපේ බ්‍රාන්ච් එකට දෙන කොම්පියුටර්ස් ටික පාස්වෙලා තියෙන්නෙ. ඒවායේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මලින්ද නොහිටියොත් විනෝදනාට කෙලින්ම සජාන්ට කතා කරන්න පුළුවන්නේ”

“හොඳයි සර්” තරුණිය එසේ පවසන ගමන් සජාන් සහ මලින්ද දෙස හොරහින් බැලීය
සජාන්ගේ මුහුණේ නම් ඇඳී තිබුණේ ප්‍ර්‍රිතිමත් සිනහවකි,

“ සර් කම්පියුටර්ස් අදම ගේනවද.”
“ නෑ නෑ ළමයො තව සතියක් විතර යනව මේ බ්‍රාන්ච් එක ලොකු කරලා ඒ සී කරලා ඒ වැඩ ටික ඉවර කරාම ගේන්න කියලා මම මේ සජාන් ට කිව්වෙ. නැත්තන් මෙයාත් හෙටම එවන්න හැදුවෙ. “

“ හා සර් මම එතකොට බලන්නම් එහෙනම්”

“හරි ඔය ලමය දැන් යන්නකො. එහෙනම් හරි නෙ මිස්ටර් සජාන් පේමන්ට්ස් වලට එහෙම මලින්ද නැති උනොත් විනෝදනා මිස් ව හම්බෙන්න ඇවිත්”

“තැන්ක්‍යූ මිස්ටර් කරුණානන්ද එහෙනම් අපිත් ගිහින් එන්නම්” ඇය එලියට එනවාත් සමගම මලින්දත් සජානුත් ඇය පසුපසින් එළියට පැමිණියෝය.

“ මේ අපි තේ එකක් බොන්ඩ කැන්ටින් එකට යනව ඔයත් එනවද අද සජාන් ගානෙලු අපිට ටී “ මලින්ද ඇයට ඇරයුම් කලාය.

“ බෑ මලින්ද අපි දැන් මේ තේ බිව්වා විතරයි ඔය දෙන්න යන්නකෝ” තරුණිය හිමිහිට එය මගහැරියාය.

“ආ මිස් විනෝදනා පොඩ්ඩක් ඉන්නකෝ”
සජාන් ගේ හඬට ඇය යළිත් හැරී බැලුවාය.

ඔහු සුරතෙහි ඒ කාලයේ අලුත්ම තාක්ෂණික අරුමය ලෙස සැලකුණු, ගඩොල් බාගයක් තරම් විශාල සෙලියුලර් දුරකථනයක් තිබුණි. කලිනුත් එය දුටුවද තරුණිය ඒ කෙරෙහි වැඩි අවධානයක් ‍යොමු නොකලාය. මීට පෙර මෙවන් දුරකථනයක් දැක තිබුණේ තමා පරිගණක පාඨමාලාව කළ ආයතනය හිමිකරු සතුව තිබියදීය. ඊට අමතරව කොමසාරිස් තුමා අතද ළඟදි සිට මෙවන් දුරකථනයක් තිබෙන බව ඇය දැක තිබුනාය. තවමත් අලුත් තාක්ෂණයක් වූ ජංගම දුරකථන භාවිතය ප්‍රචලිත වී නොතිබුණි. මේවා ස්ථාවර දුරකථන මෙන් නොව තැනින් තැන ගෙනියා හැකි බවත් බව ඇය දැන සිටියාය.

“විනෝදනා මේ මගේ අලුත් විසිටින් කාඩ් එක .මේකෙ මගෙ සෙලියුලර් නම්බර් එකත් තියෙනව
මොකක් හරි උවමනාවක් වුනොත් කෙළින්ම මේකට කතා කරන්න. සමහර විට මම ඔෆිස් එකේ නැති වෙන්නත් පුළුවන්නේ.” ඔහු විසිටින් කාඩ් පත ඇය අත තැබුවේය.

තරුණිය ඔහුට ස්තූති කර කාඩ්පතද ගෙන ශාඛාවට යනවිට යෙහෙලියන් දෙදෙනා කුතුහලයෙන් බලා සිටියෝය.

“ඇයි සර් එන්න කියලා තිබුණේ.” යෙහෙලියන් දෙදෙනා ගේ මුවින් එකවර පිටවන විනෝදනාට සිනහද පහලවිය.

“කම්පියුටර් වගයක් ගේනවලුනෙ අපේ බ්‍රාන්ච් එකේ කට්ටියට පුරුදු කරන්ඩයි මලින්ද නැතිවෙලාවට ඒවායෙ මොනාහරි ප්‍රශ්නයක් ආවොත් බලන්නයි කියලා කිව්වා “

“මොකක්ද මේ අතේ”
සඳනි ඈ අත වූ ව්‍යාපරික කාඩ් පත අතට ගෙන විමසීය.

“ආ මේ සජාන් දුන්නා එයාගෙ අලුත් සෙලියුලර් නම්බර් එක තියෙනව කියල මේකෙ”
“සජාන් කියන්නෙ අර කොම්පියුටර් මෑන් නේද “

“ ඔව්අර මං කිව්වේ අපේ කොම්පියුටර් කැඩුන වෙලේ හදල දුන්න කම්පැනි ඒකෙ සේල්ස් මැනේජ්ර්”

“ ආහ් ඕව තියෙන්නෙ සල්ලිකාරයෝ ගාව.අපේ විකුම්ලගෙ බොස් ටත් තියෙනවලු ” සඳනි පැවසීය.

“එහෙනම් සජාන්ටත් සල්ලි ඇති” විනෝදනා ගනනකට නොගෙන පැවසීය.

“ඇයි අනේ ඔයා මිනිහ ගැන විස්තර දන්නෙ නැද්ද” එවර පැවසුවේ නිම්සරාය.

“මට මොටද එයාගෙ විස්තර මට තියෙනෙන් කම්පියුටර් මොනා හරි ප්‍රශ්නයක් උනොත් මිනිහට ඉන්ෆෝම් කරන එක නෙ” විනෝදනා තම අසුන වෙත යන ගමන් පැවසීය.

“ඔයා එනෙකන් හිටියෙ තේ හදන්න දැන් නම් කම්මැලි. කැන්ටිමට ගිහින් බීල එමුද අද”
නිම්සරා විමසීය.

“අපෝ බෑ අර සජානුයි මලින්දයි තේ බොන්න යන්න කතා කලා . මම බොරුවට කිව්ව දැන් තේ බ්ව්ව විතරයි කියල.තාම දෙන්න ඇත්තෙ කැන්ටිමේ. දැන් අපි තේ බොන්න ගියොත් වස ලැජ්ජාව” විනෝදනා පැවසුවේ සිනහසෙමිනි.

“අයියෝ එතකොට අපි තේ බොන්නෙ නැද්ද”

“ඉන්නකො ටිකක්, පස්සෙ යමු එතකොට ඒ දෙන්න ගිහින් තියෙයි, වැඩක් කරගන්නත් නෑ අනේ මේ එක එක එව්ව නිසා”
තරුණිය ලිපිගොනුවක් දිග හැර ගත්තාය.

පැය බාගයක් පමන ගතවූ පසු යෙහෙලියන් තිදෙනා තේ පානය සඳහා ආපනශාලාව වෙත ගියෝය.
“ඒ හතරත් පහුවෙලා වෙලාව. ඔෆ් වෙන්නත් ලඟයි .ඉක්මනට එමු” සඳනි පැවසීය

“සල්ලි ලබන සතියෙ පාස්වෙයි කිව්ව එතකොට ඔයාට පුළුවන් නෙ හොටෙල් බුක් කරන්න” තේ පානය සඳහා යන ගමන් විනෝදනා සඳනිට පැවසීය.

“ඔව් අනේ එහෙම උනොත් ලොකු දෙයක් ඔය දෙන්නගෙ උදව්ව නැත්තම් මට් මේව තනියම කරන්නෙ කොහොමද කියල හිතාගන්නත් බෑ” සඳනි නොමසුරුව යෙහෙලියන්ට ස්තූති කලාය.

ඔවුන් ආපනශාලාව තුලට පිවිසෙද්දිම විනෝදනා එකවරම ගල් ගැසී නැවතුනි. යෙහෙලියන් දෙදෙනාද ඒ සමගම නැවතී ඇය දෙස බැලුවේ ප්‍රශ්නාර්තයක් රැඳි නෙතිනි.
“ඒයි අයියෝ මේ දෙන්න මෙච්චර වෙලා මොනව කරනවද මෙතන”
විනෝදනා ආපනාශාලවේ ඈත මේසයක් දෙස බලමින් පැවසීය.

“ඇයි මොකද” නිම්සරා විම්සුවේ සඳනිත් ඒ දෙස බලන අතරය.

“කව්ද අර මලින්ද නිකන් හින්දි නලුවෙක් වගේ කෙනෙක් එක්ක කදේ දාගෙන ඉන්නෙ” සඳනිද විමසීය

“ඒ තමා සජාන්…අයියෝ මේ දෙන්න තාම ගිහින් නෑනේ”විනෝදනා ඒ දෙස බැළුවේ නොරිස්සුමෙන් මෙනි.

“මොනවා සජාන් කියන්නෙ එයාද..ඒ නිකන් හිංදි නලුවෙක් වගේ නෙ”
නිම්සරා විවර කරගත් මුව වසාගැනීමට අමතක වී ඇති සැටියකි.

“ඔව් ඔව් එයාගෙ අම්ම ඉන්දියන් ලු නෙ”
“ඔයා කොහොමද දන්නෙ”

“දවසක් කිව්ව අනේ”

“ඒ මේ මට නම් ඔයාගෙ මහලොකු මිහිරන්ටත් වඩා පොර හැන්ඩ්සම් හලෝ” නිම්සරා පැවසීය.

“ආ එහෙමද..එනවකො යන්න සෙට් කරල දෙන්න.හැබෑට් නිම්සිට හොඳට ගැලපෙනව නේද.විනෝදනා ඇගේ අතින් ඇද්දේය.

“ඒ මට නම් බැ”නිම්සරා සිටි තැනම නැවතුනි.
යෙහෙලියන් තිදෙනා වාද කරමින් සිටියදී මලින්දත් සජනුත් ඔවුන් සිටි දෙසට පැමිණෙමින් සිටියෝය.

“ආ මේ තේ බීල හිටියෙ කිව්ව නේද” විනෝදනා දුටි සජාන් එක්වරම පැවසීය.

“ඔව් අපි බ්‍රාන්ච් එකේ හදාගෙන බොනවනෙ. ගිනියන්න මොනව හරි ගන්න ඕනි කිව්ව මෙයා ට්‍රේන් එකේදි කන්න” විනෝදනා සඳනිව පෙන්වා පැවසුවේ සඳනි දෙතොල් තදකර හපා ගනිද්දිය.

සජාන් නිම්සරා දෙසද සුහද බැල්මක් හෙලීය.

“මම යන්නම් එහෙනම් ඔෆිස් ඇරෙන්න කලින් මාත් යන්න ඔනි, නැත්තන් සමහරු අද වැඩ ටික ඉවර නොකර ගෙදර ගිහින් තියෙයි. හෙට පාන්දර ක්ලයන්ට්සල අල්ලගන්නෙ මාව”

සජාන් ඔහුට පරක්කු වන බව පවසා විගසින් පිටව ගියේය.මලින්දද ඔහු පසු පස ඇදුනෙන් යෙහෙලියන් තිදෙනා නිදහසේ තේ පානය කලේ මංගල උත්සවය පිළිබඳව කත අබහ කරමිනි.

************
ඊලඟ සතියේ විනෝදනාගේත් සඳනි ගේත් ආපදා නය අනුමත වී තිබුණි.

“මට දවසක් අක්කා කිව්වා ෆික්ස් ඩිපොසිට් එකක් දාල ඒකෙන් ලෝන් ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව කියල. එතකොට අපේ ෆික්ස් එකත් අන්තිමට ඉතූරු කරන් අපේ වැඩෙත් කරගන්න පුලුවන් කියල.මම එහෙම කරන්න ඉන්නෙ. ෆික්ස් එකක් දාලා ඒකෙන් ලෝන් එකක් අරන් ඔයාට සල්ලි දෙන්නම්”

සඳනි යෙහෙලිය තමා වෙනුවෙන් කරන්නාවු උපකාරයට ඇයට නොසෑහෙන ස්තූති කලාය.
විනෝදනා සමග ස්ථාවර තැන්පතුවක්දැමීම සඳහා ඇගේ තනියට සඳනිද ගියාය.

ඉතිරිකිරිමේ බැංකුවේ බොරැල්ල ශාඛාවට ගොස් ස්ථාවර තැන්පතුවක් දමා ඉන් ණය මුදලක් ද ලබාගෙන බැංකුවට එනවිට කල අයුරින්ම මුදල් දෙකට බෙදා දෙදෙනාගේ බෑග් වල දමාගෙන යෙහෙලියෝ දෙදෙනා බැංකු ශාඛාවෙ එලියට බැස්සෝය.

බැංකුවේ පඩිපෙළ බැස පාරට අඩිය තබනවාත් සමඟම හුරුපුරුදු හඬක් ඇසුණි.

“මේ කොහෙද යන්නෙ” එක්වරම ඇසුනු පුරුදු හඬකින් විනෝදනා හැරී බැලුවාය.

ඔවුන්දෙස සිනහමුසු මුහුනෙන් බලාසිටියේ සජාන් ය. ඔහුත් සමග තවත් තරුණයෙක්ද විය

“සජාන් ඔයා මේ කොහෙද”
ඇය සුහදව එසේ විමසුවත් ‘මේ මනුස්සයත් නැති තැනක් නෑනෙ’ යනුවෙන් යටි සිතින් සිතීය.

“මේක අපේ ඒරියා එකනෙ. ඇයි මතක නැද්ද ඔයා ආවෙ. එහා පැත්තෙනෙ ඔෆිස් එක. අපි මේ පොඩ්ඩක් ලන්ච් වලට එලියට ආවා. මේ දේශාන් මගෙ ඇසිස්ටන්ට්..මචං මේ අර මිනිස්ට්‍ර් එකේ මිස්ල දෙන්නෙක්, අපේ හොඳ ක්ලයන්ට්ස්ලා”
ඔහු එකිනෙකා හැඳුන්වා දෙමින් පැවසීය.

“හලෝ” විනෝදනා ඔහු දෙස බලා මදහසක් පෑවාය

“ඒක නෙමේ කොහෙද යාලුවො දෙන්න යන්නෙ .කෝ අද අනිත් එක්කෙනා..යමුද අපිත් එක්ක ලන්ච් වලට” ඔහු බොහෝ මිත්‍රශීලීව ඇරයුම් කලේය.

මතු සම්බන්ධයි
************************************

වසර දෙදහ නව මිලේනියමයේ උදාවත් සමඟ, ජංගම දුරකථන හෝ අන්තර්ජාල සබඳකම් සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත නොවූ යුගයක, සීමිත සන්නිවේදන පහසුකම් නිසා මුහුන දුන් ගැටලුද හාස්‍ය සහගත සිදුවීම්ද අතරින් ගලා ගිය පරිගණක හා තොරතුරු තාක්ෂණය රාජ්‍ය සේවයට අලුතින් පිවිසෙමින් තිබියදී ‍රජයේ ආයතනයක සේවක පිරිසක් හා ඔවුන්ගේ නිවෙස් වටා සිදුවන සිදුවීම් සමුදායක් මැද දලුලා වැඩුනු ආදර අන්දරයක් සහිත අතීතකාමයෙන් පිරුණු කතාවකි.

අපහාසය නොව උපහාසය පමනක් මුසුවූ මෙම කතාවේ එන නම් ගම්, ප්‍රධාන චරිත, ආයතන , දෙපාර්තමෙන්තු හා අමත්‍යංශ පරිශ්‍රය මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න.

සඳුදා බදාදා සිකුරාදා සෙනසුරාදා සවස 4 ට හමුවෙමු.

Address

Pannipitiya
Pannipitiya
10230

Telephone

+94714889995

Website

Alerts

Be the first to know and let us send you an email when SUKEE MANU BOOKS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SUKEE MANU BOOKS:

Shortcuts

Share