10/07/2026
"නිහඬ මිතුරා"
අරුණ කියන්නේ ගම්මැද්දේ ඉන්න කුඩා ගෙයක් තුළ ජීවත් වෙන තරුණයෙක්. ඔහු පොත් කියවන්න, සංගීතය අහන්න, තනිව ගඟේ යාමට වැඩි කැමැත්තක් දක්වපු කෙනෙක්. ගමේ උත්සව, ගැමි සංගම්, කලාප වැඩවලට ඔහු නිතරම යන්නේ නෑ.
කෙනෙක් අරුණව දැකලා කියනවා: “මේ කෙනා ලැජ්ජායි, මිතුරන් නැහැ.”
නමුත් ඔහුගේ හිතේ ගැඹුරු ලෝකයක් තිබුණා. ඔහු ලියපු කෙටි කතා ගමේ ගුරුවරුන්ටත්, මිතුරන්ටත් අමුතු ආකර්ෂණයක් දුන්නා. ඔහුගේ නිහඬ බවට පසුපසින් තිබුණේ ගැඹුරු සිතුවිලි සහ නිර්මාණශීලීත්වය.
අවසන්ට ගමේ පොත් ප්‍රදර්ශනයකදී, අරුණගේ කතාවක් තෝරාගත් විට, ගමම ඔහු ගැන වෙනස්ව සිතන්න පටන් ගත්තා. ඔහු Introvert කෙනෙක් වුණත්, ඔහුගේ නිහඬ ලෝකය ගමේ අයගේ හදවතට සන්සුන් ආලෝකයක් ගෙනාවා.
මේ කුඩා කථාවෙන් කියැවෙන ගැඹුරැ දේ ගැන අපි දැන් විමසා බලමු...
Introvert සහ Extrovert: පෞරුෂත්වයේ ඇතුලත සහ බාහිර ලෝකය
මනෝවිද්‍යාවේ එන 'පුද්ගල පෞරුෂ අධ්‍යයනය' (Personality Psychology) අනුව 1920 දශකයේදී මනෝ විද්‍යාඥ කාල් යුන්ග් (Carl Jung) විසින් මිනිස් පෞරුෂයන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළා. ඒ Introvert (අන්තරාවර් ත) සහ Extrovert (බාහිරාවර් ත) ලෙසයි.
සැබවින්ම 'පෞරුෂය' (Personality) යනු කෙනෙකු බාහිර සමාජයට පෙන්වන අනන්‍යතාවය හෙවත් ලතින් බසින් 'වෙස්මුහුණ' (Persona) වැනි දෙයකි.
ප්‍රධාන වෙනස්කම්
Extrovert (බාහිරාවර් ත): බාහිර සමාජයට නැඹුරු, කණ්ඩායම් වැඩවලට සහ උත්සවවලට කැමති, සමාජශීලී මෙන්ම කතාවට දක්ෂ පිරිසකි.
Introvert (අන්තරාවර් ත): තමන්ගේ ඇතුළාන්තයට නැඹුරු, නිහඬ, හුදෙකලාව ප්‍රිය කරන පිරිසකි. සමාජයේ 25% - 40% අතර ප්‍රමාණයක් සිටින මොවුන් සීමිත පිරිසක් සමඟ පමණක් සමීප ඇසුරක් පවත්වයි. මොවුන් ගැඹුරින් සිතීමට සහ ලිවීමට වැඩි දක්ෂතාවයක් දක්වයි.
අපේ සමාජයෙන් උදාහරණ
Introvert චරිතයක්: ප්‍රවීණ ලේඛක ජී.බී. සේනානායක මහතා. ඔහු විවාහ නොවී, රැකියාවක් නොකර, තම කුටියට වී දොර ජනෙල් වසාගෙන ලිවීමට සහ කියවීමටම මුළු ජීවිතයම කැප කළ අයෙකි.
Extrovert චරිතයක්: අතිශය ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතා. ඔහු නිරන්තරයෙන් ජනතාව අතර ගැවසෙමින්, පොදු ප්‍රශ්න වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි සමාජශීලී චරිතයකි.
ජනවාරි 2 - ලෝක Introvert දිනය
2011 දී ෆෙලිසිටාස් හයින් (Felicitas Heyne) නම් මනෝවිද්‍යාඥයාගේ බ්ලොග් සටහනක් නිසා මෙම දිනය ප්‍රකාශයට පත් විය. ජනවාරි 1 වනදා මුළු ලෝකයම උත්සව පවත්වන උද්යෝගයෙන් පසුව, එම උත්සව සංස්කෘතියට අකමැති නිහඬ චින්තකයන්, විද්‍යාඥයන් සහ කලාකරුවන්ව අගය කිරීම වෙනුවෙන් සංකේතවත් ලෙස ජනවාරි 2 වනදා මේ සඳහා වෙන් කර ඇත.
අපේ වගකීම
කෙනෙකු ස්වකැමැත්තෙන්ම Introvert කෙනෙකු වන්නේ නැත. එය සහජය, පවුල් පසුබිම සහ අත්දැකීම් මත නිර්මාණය වන්නකි. නිහඬව සිටින පලියට ඔවුන් දරුණු හෝ අමුතු මිනිසුන් නොවේ. සමාජශීලී නොවීම නිසා ඔවුන්ව අපහාසයට හෝ උපහාසයට ලක් නොකර, ඔවුන්ගේ ස්වභාවය වටහාගෙන ඔවුන්ට පාඩුවේ ජීවත් වීමට ඉඩ හැරීම සමාජයක් ලෙස අපේ වගකීමකි.