10/11/2024
🛑 අම්ලපිත්ත රෝගය
වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බාල, තරුණ, මහලු යන සියලු අවධි වල පුද්ගලයන් අතර සුලභව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් ලෙස අම්ලපිත්ත රෝගය හැඳින්විය හැකිය. පොදු සමාජය තුළ ගැස්ට්‍රයිටිස් (Gastritis) යන නමින් ව්‍යවහාර වන්නේ මීට බොහෝ සෙයින් සමාන රෝගී තත්ත්වයක් වුවත් ගැස්ට්‍රයිටිස් යනු අම්ලපිත්ත රෝගයේම එක් අවස්ථාවක් ලෙස හැඳින්වීම වඩාත් උචිත වේ. නමුත් සැබෑවටම අම්ලපිත්ත රෝගය යනු ඊට වඩා පුළුල් පරාසයක විහිදුණු රෝගයකි. තවද කල්ගත වීමෙන් හෝ නොසළකා හැරීමෙන් වෙනත් රෝග ගණනාවකටම හේතු විය හැකි තත්ත්වයක් නිසා කල්තියා හඳුනා ගැනීමත් ඊට නිසි ප්‍රතිකාර ගැනීමත් වැදගත් වේ.
👉 ආයුර්වේදයේ දැක්වෙන පරිදි 'පිතෙහි අම්ල ගුණ වැඩිවීම' අම්ලපිත්ත ලෙස නම් කරයි. (Ca.Ci.15/47)
⚠️️ නිදානාදී කාරණා
• විරුද්ධ ආහාර ගැනීම (incompatible food)
• දූෂිත ආහාර (පරණ වූ හෝ විෂ සහිත ආහාර) ගැනීම
• විදාහී ආහාර (spicy food) ගැනීම
• අම්ලාධික ආහාර ගැනීම
• පිත ප්‍රකෝප වන ආකාරයේ ආහාර පාන වර්ග ගැනීම
නිසා ආහාර පරිපචනය (digestion) නිසි පරිදි සිදු නොවීමෙන් අම්ලපිත්ත රෝගය ඇතිවන බව මූල ග්‍රන්ථ වල දැක්වේ. මීට අමතරව,
• නිසි වේලාවට ආහාර නොගැනීම හෝ කලින් ගත් ආහාරය නිසි ලෙස ජීර්ණය වීමට පෙර යළිත් ආහාර ගැනීම
• ප්‍රධාන ආහාර වේල් අතරතුර ක්ෂණික ආහාර ගැනීම
• අධික මත්පැන් පානය සහ දුම් පානය කිරීම
මානසික ආතතිය
• කෘත්‍රිම රසකාරක, වර්ණකාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ ආහාර පාන වර්ග ගැනීම
• රාත්‍රී කාලයේ නිදි වැරීම හෝ දවල් කාලයේ නිදා ගැනීම
• දෛනික අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම
• ආහාර ගත් විගස අධික ලෙස ජලය පානය කිරීම
• වෛද්‍ය නිර්දේශ වලින් තොරව බටහිර හෝ ආයුර්වේද ඖෂධ භාවිතය
• නිතර නිතර තේ හෝ කෝපි පානය කිරීම
👉 අප බොහෝ වේලාවක් ආහාර නොගෙන සිටින විටත් හිස් ආමාශය තුළට දිගින් දිගටම අම්ල ස්‍රාවය වන හෙයින් ආමාශයේ ඇතුළත ශ්ලේෂ්මල පටලයට හානි සිදු වේ. විශේෂයෙන්ම මෙම රෝගයේ දී ආහාර ජීර්ණයට අදාළ ආම්ලික ස්‍රාවයේ ඇතිවන වෙනස්‌කම් නිසා ආමාශය, අන්නස්‍රෝතය, ග්‍රහණිය හා කුඩා අන්ත්‍ර ආදී ඉන්ද්‍රියයන් පීඩාවට පත්වේ. එසේ අධික ආම්ලිකතාව (Hyper acidity) නිසා පීඩාවට පත් වන ආමාශයේ ඇතුළත බිත්ති වලට හානි සිදුවීමෙන් Helicobacter pylori වැනි බැක්‌ටීරියා ආසාදන ද හටගනී. මෙය ද අම්ල පිත්ත රෝගයේ එක් අවස්ථාවක් ලෙස සරලව හැඳින්විය හැකිය.
👉 අප ගන්නා ආහාර අන්නස්‍රෝතයෙන් ආමාශයට ඇතුළුවන කපාටය මගින් ආමාශය තුළ තිබෙන ආහාර නැවත අන්නස්‍රෝතය කරා පැමිණීම වළක්‌වනු ලබයි. මෙම කපාටයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇතිවන යම් යම් අසාමාන්‍යතා නිසා ආමාශය තුළ තිබෙන අම්ලය අන්නස්‍රෝතය දෙසට ගලා යාමක් ද (Gastroesophageal Reflux Disease-GORD) සිදුවේ. මෙහිදී අන්නස්‍රෝතයේ ඇතුළත බිත්තිවලට හානි සිදුවීමෙන් අන්නස්‍රෝතයේ ප්‍රදාහ තත්ත්ව ඇති වීම, උගුර දැවිල්ල, ඔක්‌කාරය, වමනය ආදිය ඇති වීම ද අම්ලපිත්ත රෝගයේ ම එක් අවස්‌ථාවකි.
අම්ලපිත්ත රෝගයේ ලක්ෂණ ලෙස:-
• ආහාර දිරවීමේ අපහසුතා සහ බඩ පුරවා දැමීම
• ඔක්කාරය
• තික්ත හෝ අම්ල රසයෙන් යුත් වමනය ඇතිවීම හෝ ඔක්‌කාරය ඇතිවීම
• ශරීරයට දැනෙන ගුරු බව (feeling of heaviness)
• පපු ප්‍රදේශයේ සහ උගුරෙහි ඇතිවන දැවිල්ල
• ආහාර අරුචිය, දක්වා තිබේ.
ආයුර්වේදයට අනුව අම්ල පිත්ත රෝගය;
🔴 ඌර්ධ්වගත අම්ලපිත්ත රෝගය
🔴 අධෝගත අම්ලපිත්තය රෝගය
යනුවෙන් දෙයාකාර වේ. අම්ල පිත්ත රෝගයේ වඩා සුලභ ආකාරය වන්නේ අමාශය හා ඉන් ඉහල ප්‍රදේශ තුළ බලපාන ඌර්ධ්වගත අම්ල පිත්ත රෝගී තත්ත්වයයි.
⚠️️ ඌර්ධ්වගත අම්ලපිත්ත රෝග ලක්ෂණ :-
•තික්ත වූත් අම්ල වූත් වමනය
•තික්ත වූත් අම්ල වූත් ඔක්කාරය
•උගුරෙහි, පපු ප්‍රදේශයේ සහ කුස ප්‍රදේශයේ ඇතිවන දැවිල්ල
•තදබල හිස කැක්කුම
•අතුල් පතුල් වල ඇතිවන දැවිල්ල හා උණුසුම් ස්වභාවය
•උණ ඇතිවීම
•ශරීරයේ ඇතිවන කැසීම්
•මණ්ඩල ආකාර කුෂ්ට හෝ පිඩකා (patches or eruptions)
•උපද්‍රව ලෙස වෙනත් රෝග හට ගැනීම
අධෝගත අම්ලපිත්ත රෝගය ඌර්ධ්වගත අම්ලපිත්ත රෝගය මෙන් සුලභ රෝගයක් නොවේ. මෙහිදී විකෘති පිත මගින් පමණක් රෝගය ඇතිවී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
⚠️️ අධෝගත අම්ල පිත්ත රෝග ලක්ෂණ :-
• පිපාසය
• දැවිල්ල හා කැරකිල්ල
• ඔක්කාරය
• බඩගිනි අඩුබව
• වැඩිපුර දහඩිය දැමීම හා සමේ බිබිලි ඇතිවීම
• ශරීරය කහ පැහැති වීම
• නිතර අධෝගත වාතය පිටවීම
• අධෝමඟ දැවිල්ල සමඟ වේදනා හටගැනීම
• අධික මළබද්ධය හෝ දියාරුවට වැසිකිළි යාම
• වැසිකිළි යාමේ දී සෙම් කොටස් පිටවීම
• මළ මාර්ගයේ තුවාල, බිබිලි, පැලීම් ඇතිවීම
• කල්යාමේ දී බඩවැල් පහත් වීම, අර්ශස්, මළ මඟෙහි ඉදිමුම, අර්ශස් අංකුර වැනි බොහෝ අපහසුතා ඇති වීමට ද ඉඩතිබේ.
මෙවැනි අවස්‌ථාවලදී නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී රෝගය තවදුරටත් වර්ධනය වුවහොත් ආමාශ බිත්තියේ සියුම් ලේ ගැලීම් හටගැනීම, තුවාල හටගැනීම (peptic ulcer) දක්‌වා රෝගය උත්සන්න වේ. අවසානයේදී ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් ආහාර මගින් උරාගැනීමට නොහැකි මට්‌ටමට පත්වීම හා රුධිර වහනය වීම නිසා රක්‌තහීනතාවට පත්විය හැකිය. තවද එහි දී සිහි මුළාව, කරකැවිල්ල, හිසරදය සමඟ ක්ලාන්තය, ආහාර අරුචිය, සිරුර දුර්වල වී කෘශ වීම, නිතර දහඩිය දැමීම, ශරීර අවයව කසාවන් පැහැවීම, අත් පා දැවිල්ල, සම මතුපිට කුෂ්ඨ මතුවී දියර ගැලීම, සන්ධිගත ආබාධ, දරුණු අස්ථි රෝග, ස්නායුගත ආබාධ, කම්පනය, මානසික රෝගාබාධයන් පවා කල්යාමේ දී ඇතිවිය හැකි ය.
මෙම රෝග ලක්ෂණ සහිත මුල් අවස්ථාවේදී ම සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවී වෛද්‍ය උපදෙස් හා නිවැරැදි රෝග විනිශ්චයක් ලබාගැනීම සුදුසු වේ. ඊට හේතුව වන්නේ එම රෝගී ලක්ෂණ සහිතව
- හෘදයාබාධ
- ආමාශයේ තුවාල හෝ වණ
- ආමාශයේ පිළිකා
- අග්න්‍යාශයික ප්‍රදාහය (Pancreatitis) වැනි වෙනත් රෝගයක් පැවතිය හැකි වීමයි. ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේ නිසි රෝග විනිශ්චයකින් පසුව වේ.
විශේෂයෙන් ම අම්ල පිත්ත රෝගීන් ආහාර විහරණ පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය.
✅දවසේ ප්‍රධාන ආහාර වේල් තුන නිසි වේලාවට මනා කළමණාකාරීත්වයක් ඇතිව ගැනීම
✅ප්‍රධාන වේල් අතරතුරදී මද උණුසුම් උණු වතුර පානය කිරීම
✅ප්‍රධාන ආහාර වේල් අතරතුරදී බඩගින්නක් නොදැනේ නම් කිසිදු ආහාරයක් නොගැනීම
✅එසේ ආහාරයක් ගතයුතු නම් පමණක් අළුත සෑදූ තෙල් රහිත ආහාරයක් අනුභව කිරීම
✅තේ, කෝපි පානය අවම කිරීමත් ඒ වෙනුවට පලතුරු, ඔසුපැන් හෝ ජලය පානය
✅පලා වර්ග අමුවෙන් ආහාරයට නොගෙන හොඳින් පිසගෙන ආහාරයට ගැනීම
පථ්‍ය ආහාර
✅ නිවුඩු හාලේ බත්
✅ පළා වර්ග
✅ පතෝල
✅ බණ්ඩක්කා
✅ කැකිරි
✅ වට්ටක්කා
✅ වැටකොළු
✅ අළු කෙසෙල් මුව හා බඩ
✅ අළු පුහුල්
✅ පිපිඤ්ඤා
✅ නෝකෝල්
✅ රාබු
✅ කොහිල අල හා දළු
✅ නෙළුම් අල
✅ තැඹිලි
✅ කුරුම්බා
✅ කැකිරි
✅ කොහිල
✅ පොලොස්
✅ කවුපි
✅ මුංඇට
✅ අනෝදා
✅ ගම්මිරිස්
✅ සුදුළූනු
✅ උලුහාල්
✅ බතල
✅ සව්
✅ බාර්ලි
✅ කිතුල් පිටි කැඳ
✅ හාතාවාරිය කොළ
✅ ගොටුකොළ
✅ කතුරුමුරුංගා
✅ බෙලිමල්
✅ ඉදුණු බෙලි
✅ දොඩම්
**අම්ල පිත්ත රෝගීන් සතියකට කීප දවසක් දියබත් සාදා ආහාරයට ගැනීම අගනා පිළියමකි.
අපථ්‍ය ආහාර
❌ අබ
❌ විනාකිරි
❌ රට දෙල්
❌ උෂ්ණ මාළු
❌ කරවල
❌ ගෝවා
❌ මුරුංගා
❌ මාළුමිරිස්
❌ අච්චාරු
❌ ලුණුදෙහි
❌ තක්කාලි
❌ හරක් මස්
❌ ජාඩි
❌ චොකලට් වර්ග
❌ පාන්පිටි ආහාර
❌ අන්නාසි
❌ ලුණුමිරිස්
❌ අධික මිරිස් කෑම
❌ අධික තෙල්, වියළි මිරිස් හා කුළුබඩු යෙදු ආහාර
❌ ඇඹුල් ආහාර
❌ ක්ෂණික ආහාර
❌ කෘත්‍රීම බීම වර්ග
❌ රසකැවිලි වර්ග
❌ තෙල් සහිත ආහාර
❌ අධික සැර සහිත ආහාර
👨⚕️ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඒ ඒ පුද්ගලයාට ගැළපෙන කෂාය වර්ග, ගුලි වර්ග,කල්ක සහ චූර්ණ මගින් මෙම තත්ත්වය සුව කළ හැකි අතර අවශ්‍ය වන්නේ රෝගියා අහිතකර(අපථ්‍ය) ආහාර විහරණ වලින් වැළකීම හා නිසි ආකාරයට ඖෂධ වර්ග පිළිපැදීමයි.
✍️ සටහන - වෛද්‍ය පසන් මධුශංඛ
BAMS (Colombo)