Asanka

Asanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asanka, Medical and health, Colombo.

සියල්ල අතහැරෙමින් යන බවට වන හැඟීම පළමුව වේදනාකාරී වන්නේය. නමුත් ඔබට සියල්ල අතහැරී ගිය පසු දැනෙන නිදහස සහ පූර්ණත්වයට සම ක...
25/03/2025

සියල්ල අතහැරෙමින් යන බවට වන හැඟීම පළමුව වේදනාකාරී වන්නේය. නමුත් ඔබට සියල්ල අතහැරී ගිය පසු දැනෙන නිදහස සහ පූර්ණත්වයට සම කිරීමට හැකි කිසිවක් මෙලොව තවත් නොමැත.

තමා සොයා යන්නාට කෙමෙන් කෙමෙන් සියල්ල අතහැරී යන්නේය. ඒ අතහැරීම සහ නිදහස් වීම සමග ඔහු තුල යම් ශුද්ධ ස්වභාවයක් ක්‍රියාත්මක වීමට පටන් ගනී. මනුෂ්‍යයෙකු යම් සංධිස්ථානයක් වෙත ලඟා වූ පසු ඔහුගේ ගුරුවරයා ඔහුට හමුවේ. නමුත් ඒ බාහිරින් නොවේ‍.

හැම කෙනෙක්ගෙම අභ්‍යන්තරය තුල තම ආධ්‍යාත්මික ගුරුවරයා ජීවමාන වී පවතිනවා. නමුත් තම ගුරුවරයාව සොයාගත හැකි වන්නේ ස්වල්ප පිරිසකට පමණයි. තම ගුරුවරයා අවදි කරගත් මිනිසා කිසිදිනෙක අතරමන් නොවේ. ඔහුට මාර්ගය නොවරදී. ඔහුව එතෙර කිරීම වෙනුවෙන් සහ ඔහුගේ ශුද්ධ ස්වභාවයේ පූර්ණත්වය ඔහුට හිමිකරදීම වෙනුවෙන් අභ්‍යන්තරික ගුරුවරයා මගපෙන්වන්නේය.

ලෞකික මනුෂ්‍යයෙකු ගමන් කරන්නෙ සිතිවිලි පසුපස ඔහු සැබවින්ම සිතිවිලි සංසිඳවීම වෙනුවෙන් සහ සිතිවිලි ලෝකය යතාර්ථයක් කරවීම වෙනුවෙන් ගමන් කරනවා. එහෙම මනුෂ්‍යයෙකු සිහියෙන් තමන්ගෙ සිත නිරීක්ෂණය කරමින් තම සිත දෙස කාලයක් බලන් ඉද්දි ඔහුට තමන්ගෙ සිතෙහි ද්විත්ව ස්වභාවය පේන්න ගන්නවා.

එතකොට දිගටම කෙනෙක් මේ ද්විත්වය දෙස සිහියෙන් බලාගෙන සිටියහොත් ඔහුගේ ගැලවුම්කරුවා ඔහුගේ ගුරුවරයා ඔහුගේ අභ්‍යන්තර තුලින් ඔහුට පෙනීසිටිනවා. හැබැයි ඔහු පුද්ගල ස්වභාවයක් හෝ පෞරුෂයක් නොවේ. එය ඔබට අයිති ඔබේම සිහියේ යම් මට්ටමකි.

ඉන් පසු ඔබ සිහියේ යම් මට්ටම් අත්දකිමින් ඔබේ සත්‍ය ස්වභාවය වෙත ක්‍රමක්‍රමයෙන් ප්‍රවිශ්ඨ වන්නේය. ඔබ අවසාන කඩයිම හෙවත් නිර්වාණධාතුව වෙත ලඟාවන මොහොතේ ඔබ මෙන්ම ඔබේ අභ්‍යන්තරික ගුරුවරයාද සදාකාලිකවම අතුරුදහන් වී ‍යන්නේය එවිට නිවීම පමණක්ම පවතින්නෙය. ශූන්‍යතාවය පමණක්ම පවතින්නේය.

අභ්‍යන්තරික ගුරුවරයා කියන්නෙ හැම කෙනෙක්ගෙම ශුද්ධ ස්වභාවයේ ප්‍රතිබිම්බය. ආශිර්වාදලත් මිනිසුන් ඉදිරියේ ඔහු පෙනීසිටී. එම නිසා ඔබ කලබලවිය යුතු නැත. නිවන නොසොයා පළමුව ඔබ අව්‍යාජ ජීවිතයකට පත්වන්න.

එවිට ඔබේ ගුරුවරයා දැකගැනීමේ භාග්‍ය ඔබට උදාවේවි.
ඔබේ අභ්‍යන්තරික ගුරුවරයා කවර ආකාරයකින් ඔබව ක්‍රියාත්මක කලත් ඔහු අවසාන ප්‍රත්‍යක්ෂය දක්වාම ඔබව රැගෙන යන්නේය.

ඔබ සියල්ල ප්‍රඥාවෙන් හෙලිකරගන්නා විට ඔබ තුල මෙතෙක් ක්‍රියාත්මක වී ඇත්තේ ඔබට පාලනය කිරීමට නොහැකි යම් ධර්මතාවයක්ම බව ඔබ අවබෝධ කරගනී.

අවසානයේ ඔබට සියල්ල අතහැරී ඇතිබවත් ඔබට සැබෑ ඔබව හමුවී ඇතිබවත් ඔබ දැනගනී.

කිසිවක් නොමැති එම මානය තුල සියල්ල පවතී.
මෙතෙක් නිවීම සොයාගිය පුද්ගලයා දැන් නොමැති බව දැනගන්නා විට ඔබ සත්‍ය වෙත ලඟා වී අවසන් ය.

Ven.halawatha rahula thero..✍️

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🪶🪶🪶🪶🪶🪶🪶🪶🪶☸️ මරණානුස්සති භාවනාවමරණානුස්සති භාව...
07/03/2025

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🪶🪶🪶🪶🪶🪶🪶🪶🪶

☸️ මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව තමන්ගේ මෙලොව යහපත සලසා ගැනීමට විශේෂයෙන් මහෝපකාරී වෙයි. තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මද මාන්න ආදිය මරණසති භාවනාවෙන් අඩු වෙයි. එලෙස ම තම ජීවිත වාසනාවන්ත බවට පත් කරගත හැකි යි. උසස් ධර්ම කරුණු වන කරුණාව, මෛත්‍රිය, දයාව , අනුකම්පාව, අවිහිංසාව ආදිය දියුණු කළ යුතු යි. උසස් ගුණයෙන් සීල, සමාධි, ප්‍රඥා දියුණු කළ හැකි යි. සප්ත විශුද්ධි ධර්මයන් හොඳින් දියුණු කර සිත හොඳ තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි. මරණයට නිර්භීතව මුහුණ දිය හැකි යි. හොඳින් පින් කළ අය මරණයට බිය නැහැ. මරණයට භය වන්නේ පිනක් දහමක් නොකර, සතුන් මරාගෙන, සොරකමේ යෙදෙමින්, අධර්මිෂ්ඨව ජීවත් වන්නන් ය. දරුණු පව් කරන්නන් දින ගණන්, මාස ගණන් , සති ගණන්, දුක් විඳ කෑගසා මැරී අපාගත වෙයි.

එක්තරා තැනැත්තෙක් මරණාසන්නව සත් දිනක් ම නොනවත්වා ම කෑ කෝ ගැසුවා. වේදනා නාශක එන්නත් කළත් කෑගැසීම අඩුවක් නැහැ. පවසන්නෙම දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා යනුවෙනි. ඒ තැනැත්තා ජීවත්ව සිටිනතාක් කළේ පාප කාරී ක්‍රියාවන්. අධාර්මිකව ජීවත් වුණා. මරණය යන වචනය අසන්නවත් කැමැති නැහැ. දැන් ඒ තැනැත්තා නිරා දුකට පත්වන ලකුණු පෙන්වනවා. මරණයත් සමඟ ම නරකාදියට වැටී යයි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇති කරගෙන පවට බිය විය යුතු යි. පින වැඩි කළ යුතු යි. තම රැකියාව, අධ්‍යාපනය, දෛනික කටයුතු, ආර්ථික කටයුතු කරගන්නා ගමන් මරණය, අපාය, දෙව් ලොව, දුකෙන් නිදහස්ව නිවනට පත් වීමක් තිබෙනවා යැ’යි සිතිය යුතු යි. එවිට කාටවත් නොබියව , නිර්භීතව ජීවත් ව අවසන් හුස්ම හොඳින් හෙළිය හැකි යි.

බුදු සසුනක් ලැබුණු කාලයක අධාර්මිකව ජීවත් වුණොත් , නිරා දුක විඳීම සාධාරණ යි. බුද්ධ ශාසනයක් ලැබුණු කාලයේ අපට සිහි නුවණ හොඳින් ලැබී තිබෙනවා. හොඳ නරක තේරුම් කරන්නට ලැබී තිබෙනවා. සැවොම මව් පිය, ගුරුවරුන්ට, සැලකිය යුතු යි. උදේ සවස බුදුන් නැමඳිය යුතු යි. ධර්ම දේශනා ශ්‍රවණය කළ යුතු යි. භාවනා, යාචක සංග්‍රහ කළ යුතු යි. තම සැඩ පරුෂ ගති දුරු කළ යුතු යි. අවංකව නිහතමානී විය යුතුයි. සුවච කීකරු විය යුතු යි. ස්වාමියාට, ස්වාමි දියණියට සැලකිය යුතු යි. දුවා දරුවන් ගැන සොයා බැලිය යුතු යි. කාටවත් කරදරයක් නැතිව ජීවත් විය යුතු යි. මේ කරුණු මරණ සතිය වඩද්දී හොඳින් දියුණු කළ හැකි යි. එසේනම්, මේ වගන්ති හොඳට සිහියට ගෙන ලියා තබා හෝ හොඳ අවධානයක් සිතට ගත යුතු යි.

අනිච්ඡා වත සංඛාරා උප්පාද වය ධම්මිනො උප්පජ්ජිත්වා නිරුක්‍ධ්ජන්ති තේසං වූප සමො සුඛො – ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝ ය. ඉපිද නිරුද්ධ වන්නා වූ ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේ ය. මාගේ ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. සත්ත්වයන්ගේ ජීවිත බිය වනාහි එක චිත්තක්ෂණයක්ව පවත්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. අතීත චිත්තක්ෂණයෝ ද පැවතුණා වූ ජීවිතයන් වනාහි , වර්තමාන චිත්තක්ෂණයට පැමිණ මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. වර්තමාන චිත්තක්ෂණයෝ ද පවත්නා වූ ජීවිත වනාහි අනාගත චිත්තක්ෂණයට පැමිණ මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. අනාගත චිත්තක්ෂණයන් පහළ වන හෙයින් ද , මතු අනාගත චිත්තක්ෂණයට පැමිණ මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. සිටගෙන සිටියදී ද මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ඇවිදිමින් සිටියදී ද සැවොම මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. වාඩිවී සිටියදී ද මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. නිදාගෙන සිටියදී ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. යම් හෙයකින් වනාහි මරණානුස්සති භාවනාව මෙසේ මහානුභාව සම්පන්න ද එසේ හෙයින් මහා නුවණැති වූ යෝගාවචර වූ හැම කල්හි ම ඒකාන්තයෙන් මරණානුස්සති භාවනාව වඩන්නේ ය. වැඩිය යුත්තේ ම ය. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි . මරණය නියත යි.

මෙලෙස මරණ සතිය දියුණු කළ යුතු යි. සෑම උපමාවකින් ම පවසන්නේ ජීවිතය අස්ථිර බවත් මරණය ස්ථීර බවත් ය. ඒ නිසා කවුරුත් තම ජීවිතය ගැන ම කල්පනා කර මරණය කරා මා යනවා යැ’යි සිතාගෙන ම කටයුතු කළ යුතු යි. එවිට ගුණ ධර්මයන්ට සිත නැඹුරු වෙයි. නපුරු ගති පැවතුම් ඉවත් කර ගනියි. මෛත්‍රිය කරුණාව හොඳින් වැඩෙයි. කුමන දෙයක් ගැනවත් ඇලීමක්, ගැටීමක් නැහැ.

මුල් කතුවරුන්ට සහ ලිපි සැකසූවන්ට පුණ්‍යානුමෝදනා වේවා !

ධර්ම දානය පිණිස බෙදා හරින ලදී ෴
🙏

ජය ගනේෂ ජය ගනේෂජය ජය ගණනායකාසර්ව සිද්ධි දායකාසර්ව විග්න නාශකා ❤️🚩   🚩
19/02/2025

ජය ගනේෂ ජය ගනේෂ
ජය ජය ගණනායකා
සර්ව සිද්ධි දායකා
සර්ව විග්න නාශකා ❤️
🚩 🚩

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️☸️ලොවක් ජය ගත හැකි මෙත්තාව....
19/02/2025

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️

☸️ලොවක් ජය ගත හැකි මෙත්තාව.

අඳුරෙන් අඳුර නැසිය නොහැකි ය. ඒ සඳහා ආලෝකය අවශ්‍ය වේ. එමෙන් ම ලොවක් ජයගත හැකි හොඳ ම අවිය මෛත්‍රිය හෙවත් මිතුරුකමයි. අවි ආයුධ දසදහස් ගණනකට කළ නොහැකි දෙයක් මෙත්තාවට කළහැකි ය. අවි ආයුධ, ද්වේෂය, වෛරයතුළ සමාජය භේද භින්න වන අතර මෙත්තාව තුළ සමාජය එකතු වේ.

වෛරය හා ද්වේෂය අසමඟිය, අසහනය, අසන්තුට්ඨිය වැඩි කරයි. ඒ වෙනුවට මෛත්‍රියතුළින් සතුට සමඟිය සහනය සැලසේ. මිනිස් සිත්තුළ වෛරය ද්වේෂය ඉපදී එය වැඩීමේ ප්‍රතිඵල ලෙස වර්තමාන ලෝකය අවස්ථා දෙකක දී ඉතා දරුණු ලෙස ඇවිලිණි. තුන්වන අවස්ථාවක් නැවත ඇතිනොවේ යැයි සහතික විය නොහැක. එපමණක් නොව රටවල, ජනවර්ග, ආගම් අතර වරින් වර මේ තත්ත්වය දැකිය හැකි ය. ඒ සඳහා බලපෑම් සිදු කළේ මිනිස් මානසිකත්වයයි. එකිනෙකා පරයමින් කෙසේ හෝ කොහොම හෝ ජීවත් වීමට යාමේ ප්‍රතිඵල ලෙස මේ තත්ත්වය උදාවුණි. ඉතා පටු කාරණා බුද්ධියෙන් නොසිතීම මීට හේතුවයි. හැඟීම් ආවේග පාලනය කිරීම තුළින් ගැටුම් අවම කරගත හැකි ය. වෛරය සිත්තුළ පහළවූ විට මව පියා දරුවන් පවා නොහඳුනාගනී. එවන් චණ්ඩ සිතිවිල්ලක් ලේ ඥාතීත්වයෙන් පිට කාරණාවක් හා සම්බන්ධ වන්නේ නම්, කිනම් අපරාධයක් සඳහා මඟ පාදන්නේ ද යන වග අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. මෛත්‍රියෙන් ඉවත්වීම මත ඇතැම් පාලකයන්ට රාජ්‍ය සේවය පමණක් නොව ජීවිතය පවා අහිමි වූ අවස්ථා ලෝක ඉතිහාසය තුළින් හඳුනාගත හැකි ය. හිට්ලර් ට අත්වූයේ එවැනි ඉරණමකි.

සමඟිය සහජීවනය සැකසීමට මෛත්‍රියට මහත් බලයක් ඇත. තමාට මෙන් ම තමාගෙන් පරිබාහිර ලෝකය හමුවේ හිතවත්ව ලෙන්ගතුව කටයුතු කිරීමේ ප්‍රබල හැකියාව මනසින් උසස් සත්වයාට උරුමව පවතී. තමාට යම් බලයක්, ශක්තියක් අවශ්‍ය සේ ම සමාජයේ අනෙකාට ද එසේ අවශ්‍ය බව සිතීම උසස් ගුණයකි. එමෙන්ම කෙනෙකු තමන්ට කරනවාට අකැමැති දෙයක් තමන් විසින් අනෙකාට සිදු නො කළ යුතු ය. ධර්මයෙහි මෛත්‍රිය එතරම් ම පුළුල් ය. ඉතාම කෙටියෙන් පවසන්නේ නම් අත්තූපනායික ධර්ම පර්යාය පදනම් කොටගෙන ජීවත්වීම මෙයින් අවධාරණය කෙරේ. ධම්මපදයේ දණ්ඩවග්ගයට අනුව මේ ලෝකයෙහි සියල්ලෝ ම දඬුවමට හිංසාවට බය අතර තමන් උපමා කොටගෙන එසේ සිදුනොකරන ලෙස සඳහන් වන්නේ එහෙයිනි. ලැබූ මිනිසත් බව ඉතා දුර්ලභ ය. බුදුරදුන්ගේ ජීවන දර්ශනයේ පදනම වූයේ ද මෙත්තාව, කරුණාව හා ප්‍රඥාවයි. උන්වහන්සේගේ එම කරුණාව මෛත්‍රිය ජීව අජීවි පරිසරයට එක හා සමාන වූවකි. එහිදී කුල, ජාති, ආගම් භේද සැලකිල්ලට නොගත්හ. මේ ලෝකයෙහි පහළ වූ පළමු බෞද්ධයා උන්වහන්සේ ය. සමාජයේ පුද්ගලයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් විවිධ ය. ඒ බව මැදහත්ව අවබෝධකොට ගත යුතු ය. එසේ නොමැතිව ආක්‍රමණශීලීව, සමාජ විරෝධීව කටයුතු නොකළ යුතු ය. බුදුරදුන් දේශනා කරනුයේ සත්ත්ව ඝාතනය, අනෙකාට හිංසා පීඩා කිරීම අනෙකා පිළිබඳ මෙත් සිතක් නොමැතිවීම වසල කමක් ලෙස ය. වසලබවට ජාතිය ආගම අයිති නොවේ. මෙය ඉතා පුළුල්ව තේරුම් ගැනීම අවශ්‍ය ය. ජාතීන් අතර ආගම් අතර, ඇතිවන ගැටුම් බුදුදහම ප්‍රතික්ෂේප කරයි. භික්ෂුවගේ වගකීම වන්නේ ද සුජාත බුද්ධ පුත්‍රයන් ලෙස ගැටුම් පාලනය සඳහා මැදිහත් වීමයි. වියට්නාම ජාතික ටිව් නට් හිමියන්ගේ ධර්මානුකූල ප්‍රකාශය භික්ෂුවගේ කාර්යභාරය පසක් කරන සුළුය. උන්වහන්සේ වරෙක මෙසේ ප්‍රකාශ කළහ.

“ඔබ අත තුවක්කුවක් ඇත්තේ නම් ඉන් එක් අයෙකුට දෙදෙනෙකුට තුන් දෙනෙකුට හෝ පස් දෙනෙකුට වුවත් වෙඩි තබා මරා දැමිය හැකි ය. එය විනාශයකි. අපරාධයකි. එහෙත් ඔබ යම් අන්තවාදී දෘෂ්ටියක පිහිටා, එය බොහෝ දෙනා අතර පතුරවමින් යයිද එයින් ඔබ සිදුකරන්නේ සිය දහස් ගණනින් පුද්ගලයින් විනාශ කර දැමීමකි. එය මහා ම අපරාධය වන්නේ ය.

තමන්ගේ ජාතිය, ආගම ශ්‍රේෂ්ඨය. අනෙක් ජාති ආගම් පහත් ය. එහෙයින් නැසිය යුතු ය. ඔවුන්ගෙන් රට ජාතිය ආරක්ෂා කර ගත යුතුය යන දෘෂ්ටියක පිහිටා මානවයා, විනාශකර දැමීම බුදුදහමට එකඟ නොවේ. බලය, ධනය වැනි පටු සීමාවන්තුළ පිහිටා මිනිස්කමට නිගරුවන අයුරින් කටයුතු කිරීම නුසුදුසු ය. එසේ කටයුතු කිරීමතුළ සමාජයෙහි බලවත් වන්නේ වෛරය ද්වේෂය සහ ඊර්ෂ්‍යාවයි. එය විනාශයේ මූල බීජය මිස දියුණුවේ අඩිතාලම නොවේ.

මෛත්‍රිය වැඩීමතුළ සමාජයට යහපත සැලසෙනවා සේ ම පුද්ගලයන් ලෙස සියල්ලන්ට යහපත් ආශිර්වාදය සැලසේ. මෙත්තානිසංස සූත්‍රයේ දී පමණක් ලැබෙන ආනිසංස 11 ක් පිළිබඳ සඳහන් වේ. වෛරයෙන් ක්‍රෝධයෙන් ජීවත්වීමතුළ ඉන් පළමු හානිය සිදුවන්නේ සමාජයට හෝ අනෙකාට නොව තමන්ට ම ය. ජීව අජීව පරිසරය මානව යහපත සඳහා යොදා ගත යුතු ය. තම අවශ්‍යතා බඹරා මලෙන් රොන්ගන්නා සේ ඉතා ධාර්මික විය යුතු ය. ලොව ජීවත්වීමට ඇති අයිතිය සමාන ය.

තමා දෙස, තම දරුවන් දෙස බලන අයුරින් සමස්තය දස බැලීමට සියල්ලෝම පුරුදු විය යුතුම ය. එසේ නොවෙන විට මහත් ආරවුල් ව්‍යසන ඇතිවීම ස්වභාවික ය. බුදුරදුන් පහළවන සමාජයෙහි ආශිර්වාද ලබාගැනීම සඳහා පවා අන්‍ය ජීවිත විනාශ කරන ආකාරය දැකගත හැකි විය. යාග පුජාව ඊට කදිම නිදසුනකි. යාගය වෙනුවට බුදුරදුන් දානය අනුදැන වදාළේ එහෙයිනි. කෙනෙකු විනාශකොට පීඩාවට පත්කොට තවත් පිරිසකට ආශිර්වාද ලැබෙන බවක් නැති අයුරු මන්දමානසික මිනිසෙකුට පවා අවබෝධ වන කරුණකි. එවැනි වට පිටාවක ගහකොළ, ධාන්‍ය, සතා, සිව්පාවා, විනාශකොට ලැබෙන ආශිර්වාදය කවරාකාරද යන්න බුද්ධියෙන් විමසිය යුතු ය. දානය පරිත්‍යාගය, සුහදත්වය ගොඩනඟා ගැනීම සඳහා මහත් අස්වැසිල්ලකි. බොහෝ ගැටුම් ව්‍යසනයන්ට හේතුව වන්නේ මිනිසුන් පරිත්‍යාගශීලී නොවීමයි. පරිත්‍යාගශීලීත්වය, සෑම විටම පියවරක් පසුපසට ගැනීමට හිත හදාගන්නේ නම් බොහෝ ව්‍යසනයන් දුරුකරගත හැකි ය. ඒ සඳහා හොඳම ඖෂධය මෛත්‍රියයි. නිවස තුළ සමාජ සංස්ථා තුළ මෙන්ම රටවල් අතර හොඳහිත පළුදු වන්නේ මෛත්‍රිය, හිතවත්කම මානුෂීයබව තුරන්වීම නිසාවෙනි. සමඟිය, සාමය, සහජීවනය සහිත තෘප්තිමත් ජීවිත ගත කිරීමට තුන්දොර පාලනය කරගැනීම ඉතා අවශ්‍ය ය. මේ සඳහා මෙත් සිතින් කටයුතු කිරීම දෙලොව යහපත ඇතිකිරීමට සමත්වේ. ඒ සඳහා සැවොම වීර්යය කරත්වා.

මුල් කතුවරුන්ට සහ ලිපි සැකසූවන්ට පුණ්‍යානුමෝදනා වේවා !

ධර්ම දානය පිණිස බෙදා හරින ලදී ෴
🙏

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔☸️ සංයම වූ සිත සුව ගෙන දෙයි.අතීත සමා...
17/02/2025

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

☸️ සංයම වූ සිත සුව ගෙන දෙයි.

අතීත සමාජයේ මෙන් ම වර්තමාන සමාජයේ ද බොහෝ දෙනෙක් ආස්‍රවයන් ක්ෂය කිරීම සඳහා විවිධ දුෂ්කර වෘත සමාදන් වී ඇත. අජ වෘත, ගෝ වෘත, සුනඛ වෘත වැනි දේ සමාදන්ව කයට පීඩා ලබාදීම මගින් විමුක්තිය ලැබිය හැකි යැයි කල්පනා කර තිබේ. බුදුදහම මේ මතය සම්පූර්ණයෙන් ම බැහැර කරයි. කයට දුක් දීම හේතු කොට ගෙන තාවකාලිකව හෝ දීර්ඝ කාලීනව හෝ විමුක්තියක් ලද නොහැකිබව බෞද්ධ අදහසයි.

සමස්ත මානව වර්ගයාගේ ම මූලික අවශ්‍යතාවය වන්නේ ආහාර , නිවාස, ඉඳුම් හිටුම් හා සෞඛ්‍ය පහසුකම්. බුදුදහම මෙම කරුණ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය යන නාමයන්ගෙන් හඳුන්වා දී තිබේ.

මිනිසා අනුන් පීඩාවට පත් කරමින් සාරධර්ම, ගුණ ධර්ම නොතකමින් උත්සාහ ගන්නේ ධනය හා සම්පත් උපයා ගැනීමට ය. ධනය හා සම්පත් උපයා ගෙන මිනිසා සිදු කරන්නේ තම මුලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමයි.

මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ දී, ඒවා පරිහරණය කිරීමේ දි අරමුණු මෙනෙහි කරන විට වැරැදි සමාජ සම්මතයන්ට පටහැනි ලෙස අදැහැමි ලෙස ජීවත් වීම කිසිසේත් ම සුදුසු නොවන බව වටහා ගැනීම අපහසු නොවේ.

බුදුරදුන් පෙන්වා දෙන්නේ භික්ෂුව චීවර පරිහරණය කරන විට චීවර පරිහරණය කරන්නේ කුමක් සඳහා ද යන අවබෝධය ඇති කරගත යුතු බවයි. ඒ අනුව හැම මොහොතක ම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට එහි ප්‍රයෝජන පමණක් සලකා බැලිය යුතුªය. සීත නසනු පිණිස, උෂ්ණ නසනු පිණිස, මැසි මදුරු ආදීන්ගෙන් වන පීඩාවන් වළක්වනු පිණිස, සුළඟ, අව්ව, සර්පාදීන්ගෙන් වන ස්පර්ශයන්වලින් වැළකීම පිණිස’ ලජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස සිවුරු පරිහරණය කරන්නේ යැයි මෙනෙහි කරන ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. භික්ෂූන් වහන්සේ උදෙසා පෙන්වා දෙන ලද්දක් වුව ද ගිහියාට ද ඉතා වැදගත් මග පෙන්වීමකි. ඇඳුම්,ආභරණ අඳින පළඳින හැම මොහොතක ම ඒ පිළිබඳ ව නිවැරැදි ව ප්‍රත්‍යවේක්ෂණය කරන විට ඇඳුම්, කනකර ආභරණ, විසිතුරු ආයිත්තම් පිළිබඳව ඇතිවන ආසාව, කැමැත්ත, ගිජුබව අවම කර ගත හැකි ය. සැහැල්ලුවෙන් ජීවත් විය හැකි ය.

පිණ්ඩපාත යන්නෙන් අදහස් කරන්නේ ආහාර පානයි. භික්ෂුව කායික හා මානසික සමබරතාවය ආරක්ෂා කර ගැනීමට දානය හා කැපසරු පාන වර්ග වළඳයි. ඒවා වළඳන්නේ කුමක් සඳහා දැයි නුවණින් පරික්ෂා කරන්නේ නම්, කුඩා දරුවන් සේ ක්‍රීඩා කිරීම සඳහා බලය, මදය, පුරුෂමද, වැඩි දියුණුූ කරනු සඳහා සිරුරෙහි පැහැය වැඩිවීම පිණිස මම මෙම ආහාරපාන නො වළඳමි. ජීවිතයේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වේදනා නැසීම පිණිස, බඹසර වසනු පිණිස මෙම ආහාරපාන වළඳමි. මෙසේ වැළඳීමෙන් පැරැණි වේදනා නසන්නෙමි. අලුත් වේදනා නූපදවන්නෙමි. නුසුදුසු සෙවීම් දුරු කිරීමෙන් දැහැමින් උපයාගත් බැවින් නිවැරැදි බවින් ද පමණ දැන වැළඳීමෙන් ද කාය බල ලබා පහසුවෙන් වාසය කිරීමට හැකියැයි සලකා මේ අහර වළඳමි. එවිට භික්ෂුවට ආහාර පිළිබඳ ව රස තෘෂ්ණාව ඇති නොවේ. ලැබෙන ඕනෑම භෝජනයකින් තම දිවි පැවැත්ම පවත්වා ගත හැකි ය.

ආහාර පාන ගැනීමේ අරමුණ මෙනෙහි කරන විට ආහාරපාන කෙරෙහි ඇති ගිජු බව , දැඩි ආසා, රස තෘෂ්ණාව අවම කර ගත හැකි ය. එමෙන් ම ධර්මය තුළ උගන්වන ආහාර මත්තඤ්ඤුතතාව හෙවත් පමණ දැන ආහාර ගැනීම කළ හැකි ය. එවිට කයේ සැහැල්ලු බව මෙන් ම මනසේ සැහැල්ලු බව ද ඇතිකර ගත හැකිවාක් මෙන් ම ලද ආහාරපානවලින් ජීවිතය පවත්වාගෙන යෑමට ද අවස්ථාව සැලසේ.

පැවිදි පිරිස තම වාසස්ථාන බවට පත් කර ගන්නේ ආරණ්‍ය , රුක්ඛමූල, ශුන්‍යාගාර යනාදියයි. ගිහි දායක කාරකාදීන් විසින් පුජා කරන ආරාම ආදියද තම වාසස්ථාන බවට පත් කර ගනී. මෙම සෑම ස්ථානයක දී ම පැවිද්දා වාසස්ථාන ප්‍රයෝජනයට ගන්නේ අරමුණු මෙනෙහි කරමිනි. එනම් සීත පීඩා නසනු පිණිස, උෂ්ණ පීඩා නසනු පිණිස, මැස්සන් මදුරුවන්ගෙන් වන පීඩා නැති කිරීමට, සුළඟ, අව්ව හා සර්පයන්ගෙන් වන දුක් පහස නසනු පිණිස, ඍතු උපද්‍රව, නසනු පිණිස, සිත එකඟ කර ගැනීමේ ඇලෙනු පිණිස සෙනසුන් ඇසුරු කරයි. මේ නිසා අධි සුඛෝපභෝගී ස්ථානවල වාසය කිරීමට අරමුණු පහළ නො වේ. සැහැල්ලු, සුන්දර, රුක් ගොමු, පර්වත ආදියෙහි වාසස්ථානයට සිත ඇලේ. ගිහියාට ද වාසස්ථානයක් වුවමනා කරන්නේ ජීවිතයට පැමිණෙන ගැහැටවලින් වැළකී සිටීමට බව මෙනෙහි කරන විට අධි සුඛෝපභෝගී, කාමභෝගී ස්ථානවල ඇලීමට සිත් පහළ කර නොගනී. තමාට ඇති ස්ථානයේ සැහැල්ලුවෙන් ජීවත් වේ. ඒ සඳහා වාසස්ථාන පරිහරණය කිරීමේ අරමුණු මෙනෙහි කළ යුතු ය.

බුදුරදුන්, භික්ෂුවට අනුමත කර ඇත්තේ දානය නො වළඳින අවේලාවන්හි දී කැප සරුප් පාන වර්ග වළඳන ලෙසයි. බෙහෙත් හේත් වැළඳීමේ දී තම ගිලන් බව ශාරිරිකව ඇතිවන දුක් වේදනා නසනු පිණිස ජීවිතය නීරෝගී ව පවත්වාගෙන යෑමේ උතුම් බව සලකා වැළඳිය යුතු ය. එවිට ශරීරය නීරෝගී ව පවත්වාගන්නා සේ ම වැඩි අපේක්ෂාවන්ගෙන් වෙන් ව ජීවත් විය හැකි ය. මෙම උපදේශය පැවිද්දාට මෙන්ම ගිහියාට ද අදාළ වන්නකි. බුදුරදුන් දේශනා කළ ප්‍රත්‍යවේක්ෂණය මගින් ගිහිපැවිදි දෙපාර්ශ්වයට ම තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ දි ඒවා ළඟා කර ගත යුත්තේ කවරාකාර ලෙසින් ද යන්න හඳුනා ගත හැකි ය.

පිරිත් සූත්‍ර ආරම්භයට පෙර මෙවැනි ප්‍රත්‍යවේක්ෂණයක් ඇතුළත් කිරීමෙන් දේශක පිරිස වන භික්ෂූන් වහන්සේලාට සිවුපසය පරිභෝජනය කිරීමේ දී තම සිතිවිලි කෙසේ පවත්වාගත යුතු ද යන්න පිළිබඳ ව මතක් කිරීමක් සිදු කරයි. එමගින් මනස සංයමයට බඳුන් වේ. ශ්‍රාවකයින් වන ගිහියන්ටද මෙතුළින් ජීවිතයේ අපේක්ෂාවන් කෙබඳු විය යුතු දැයි මග පෙන්වයි. එවිට ඔවුන් ද තමන්ට මූලික අවශ්‍යතා පිළිබඳව ඇති ගැටලු වෙත්නම් ඒවා සීමාකරගෙන ජීවත් වීමට අධිෂ්ඨාන කර ගනී. මෙමගින් දේශක පිරිසේ චිත්ත පාරිශුද්ධිය මෙන්ම ශ්‍රාවක පිරිසේ චිත්ත සංයමය ද ගොඩ නගා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

මුල් කතුවරුන්ට සහ ලිපි සැකසූවන්ට පුණ්‍යානුමෝදනා වේවා !

ධර්ම දානය පිණිස බෙදා හරින ලදී ෴
🙏

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾☸️ පින් කිරීමට අවස්ථාව ලැබෙන්නේ පෙර ...
02/02/2025

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

☸️ පින් කිරීමට අවස්ථාව ලැබෙන්නේ පෙර කළ පිනට යි.

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය - දජ්ජාප්පස්ම්මපි යාචිතො
එතෙහි තීහි ඨානෙහි - ගච්ඡෙ දේවාන සන්තිකෙ

පින්වතුනි,

අද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කරන ධර්මාවවාදය ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ එන ගාථාවක් ඇසුරු කරමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකි ය.

“ඇත්ත කීම, කෝප නොවීම යමෙක් යමක් ඉල්ලුවිට සුළු දෙයක් හෝ දීම, යන මේ කරුණු තුනෙන් දෙවියන්ගේ සමීපයට යන්නේ ය.”

මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට මුගලන් මහ රහතන් වහන්සේ මුල්කොට දේශනා කරන ලද්දකි. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ තම සෘද්ධි ශක්තියෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන ලදහ.එහි දී විවිධ දෙවිවරු උන්වහන්සේට වන්දනා කිරීමට පැමිණි අතර, සතුටු සාමීචියෙන් අනතුරුව ඒ ඒ දෙවිවරුන් දිව්‍ය සම්පත් ලැබීමට සිදු කළ පින්කම් මොනවාද යන්න අසා දැන ගන්නා ලදී.

පසුව දිව්‍ය ලෝකයේ සිට නැවත ජේතවනාරාමයට වැඩම කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, ඇත්ත කී පමණෙකින්, කෝප නොවීමෙන්, තිඹිරි, කැකිරි, පලා ආදිය සුළු දෙයක් දුන් පමෙණකින් කෙනෙකුට දිව්‍ය සම්පත් ලැබිය හැකි දැයි විචාළ සේක. බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් “එසේය, හැකිය” යි වදාරා මේ ගාථාව වදාළ සේක.

රහත් භාවය පිළිබඳ අවබෝධය ඇති කෙනකුට නිරතුරුව ඇති වන ප්‍රශ්නය නම් මුගලන් මහ රහතන් වහන්සේට මේ කරුණ පිළිබඳ දැනීමක් නැද්ද යන්න යි. මුගලන් මහ රහතන් වහන්සේ එම කරුණු සහ එහි විපාක හොඳින් දනිති. නමුත් දම් සභාවේ දී අනිත් අය නො දන්නා, සාමාන්‍ය ජනතාවට යහපතක් ඇති කරන ධර්ම කරුණක් ඉදිරිපත් කිරීමෙන් බුදුරජාණන් වහන්සේට එදින අල්පශ්‍රැතයින් සඳහා වැඩදායී යමක් ඉටු කළ හැකි ය යන පරාර්ථ චේතනාවෙන් මෙබඳු ප්‍රශ්න අසන බව පෙනේ.

බුදුරජාණන් වහන්සේගේ දේශනා නිර්වාණය ඉලක්ක කරගත් දේශනාවන් බව පෙන්නුම් කරයි. එහෙත් විටින් විට ඉන් බැහැරව පොදුවේ සියලු දෙනාට යහපතක් සිදුවන, පුරුදු පුහුණු කළ හැකි ධර්ම විග්‍රහයන් උන්වහන්සේ විසින් දේශනා කර ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ධර්ම කරුණු පොදුවේ ඕනෑම අන්‍ය භක්තිකයකුට ප්‍රයෝජනවත් වන, ආගමික ස්වරූපයෙන් තොරව අනුගමනය කළ හැකි ධර්ම කරුණු ය.

මේ සූත්‍රයේ මතු කරන ධර්ම කරුණු තුන ද ලෝකයේ ඕනෑම අන්‍යාගමිකයකුට වුව ද අනුගමනය කළ හැකි ධර්ම කරුණු තුනකි.

සත්‍ය ප්‍රකාශ කිරීම සත්පුරුෂ සමාජ ලක්ෂණයකි. වචනය කායික ක්‍රියාවකට වඩා පුද්ගල චර්යාව කෙරෙහි තදින් බලපාන මාධ්‍යයකි. වචනය කායික ක්‍රියාවක ප්‍රතිඵලයට වඩා මිනිස් සන්තානයේ දිගු කල් රැඳෙන මතක සටහනකි. කායික සටහනකට වඩා වාචසික සටහන දිගු වෙලාවක් පවතින අතර එය තුන් කාලයට අයත් සිදුවීම් එළි කරන, විවිධ දිසාවන්ට වාද විවාද ගෙන යන බලවේගයකි.

කෙනකු සත්‍ය ගරුක වන විට, එම භාවිතය තව කෙනකු මුලා කරන ප්‍රකාශවලින් බැහැර කරවයි. පරිභව ප්‍රකාශවලින්, අස්ථාන, අනර්ථ, නොවටිනා ප්‍රකාශවලින් බැහැර කරවයි. මේ තුළින් වචනය සංවර කර ගත හැකි ය. සමාජ පිළිගැනීම ලබාගත හැකි ය. ගැටුම්වලින් ආරක්ෂා කර ගත හැකි ය.

කෝප නොවීම ශාන්තිකර ධර්මයකි. කෝපවීම කර්ම දෝෂයකින් එනම් පුරුද්දක් නිසා ඇතිවිය හැකි ය. ආත්ම අභිමානය නිසා ඇතිවිය හැකි ය. දෘෂ්ටියක් නිසා ඇතිවිය හැකි ය. අලාභයක් නිසා ඇතිවිය හැකි ය. කායික රෝගයක් නිසාත්, මානසික ආතතියක් නිසාත් ඇතිවිය හැකි ය.

කෝපවීම නිසා ඇතිවන ප්‍රතිඵල හානි දායක වේ. විවිධ කායික රෝග ඇති කරවයි. මානසික රෝග ඇති කරවයි. ධන හානි ඇති කරයි. සමාජයේ දෝෂ දර්ශනයට පත් වේ. පිළිගැනීම නැති කරයි. මිතුරන් අඩු වේ. සතුරන් වැඩි වේ. තනතුරු පිරිනැමීමට මැලිවෙයි. සමාධි ශක්තිය ඇති නොවේ. නිවනින් ඈත් වේ.

කෝපය නැති කළ හැක්කේ ඉවසීමෙන් පමණි. මේ සඳහා සතිය විමර්ශනය අධිෂ්ඨානය අවශ්‍ය වේ. තමාට අයත් සිත දෙස නිරතුරුව බලන්නේ නම්, කෝපය ඇති වන අවස්ථා දැකිය හැකි ය. කෝපය ඇති කරවන කරුණ මධ්‍යස්ථ සිතින් භාරගත් විට කෝපය නැති වේ. අලාභය බාර නොගන්නා විට කෝප වේ. අනෙකුත් මත පැවතිය හැකි යැයි භාරගත් විට කෝපය නොවේ. ඕනෑම කෙනෙකු ඕනෑම රෝගයකට පත්විය හැකි බව බාරගත් විට කෝපය ඇති නොවේ. ආතතිය ඇතිවන හේතුව භාරගෙන එයට පිළියම් යෙදීමෙන් කෝපය ඇති නොවේ. මේ චින්තන ක්‍රමය කලක් පුරුදු කිරීමෙන් සාමාන්‍ය චින්තන රටාවෙන් බැහැර විය හැකි ය. පුරුද්දක් නිසා ඔබ කෝප වන්නේ නම් එවිට සිත වෙන අරමුණකට ගෙන යන්න. වෙන ක්‍රියාවක් සිදු කරන්න. දීර්ඝ ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් පස් වතාවක් සිදු කරන්න. ඉන් කෝපය පහව යයි.

ඉල්ලන කෙනාට සුළු දෙයක් හෝ දීම හොඳ පුරුද්දකි. ත්‍යාග සම්පත්තිය කුමක්ද යන්න විස්තර කරන බුදුරජාණන් වහන්සේ එය මසුරු මළ පහ කිරීම ලෙසට හඳුන්වයි. මසුරුකම හැමවිටම අපගේ සිත් තුළ කිලිටි සිතුවිලි නිර්මාණය කරන අතර, ඒ නිසාම කෙනකු අපායගාමී බවට පත් කරයි. මේ නිසා ත්‍යාග සම්පත්තිය දියුණු කිරීමට (වොස්සග්ගරත) දන් දීමට කැමති, (යාචයොග) යමක් ඉල්ලීමට හැකි, (පයතපානී) දන් දීමෙන් පිරිසුදු දෑත් ඇති කෙනකු බවට පත් වීමට උත්සාහ ගන්නා ලෙසට අවවාද කර ඇත. කෙනකුගේ කායික පෙනුම ඔහුගෙන් යමක් ඉල්ලීමට හැකි ද යන්න ප්‍රකට කරයි. මේ කායික පෙනුම කාලාන්තරයක් දන් දීමෙන් ඇතිකරවන ප්‍රතිඵලයකි. කෙනෙකු යමක් ආයාචනා කිරීම දේව ආශිර්වාදයක් ලෙසට සලකන්න. එය පින් කිරීමට අවස්ථාවක් උදා කිරීමකි. එය ද පූර්ව පිනට සිදුවන්නකි.

මේ කරුණු ගැන ගැඹුරින් හිතන්න. ලැබුණු මේ දුර්ලභ අවස්ථාව මඟ නොහරින්න. ගුණ ධර්ම පෝෂණය කරන්න. මේ නිසා ඔබට මේ භවය තුළම තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ය. පරලොව ජීවිතය සුගතිගාමී කළ හැකි ය. මේවා නිර්වාණය අවබෝධ කරගන්නට අවශ්‍ය පූර්ව කෘත්‍යයක් කළ හැකි ය. සියලු දෙනාට සියලු යහපත සැලසේවා.

මුල් කතුවරුන්ට සහ ලිපි සැකසූවන්ට පුණ්‍යානුමෝදනා වේවා !

ධර්ම දානය පිණිස බෙදා හරින ලදී ෴
🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Asanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share