08/11/2024
අර්ශස් රෝගය (Haemorrhoids)
ගුදමාර්ගය ආශ්‍රිතව හටගන්නා රෝග තත්වයන් ලෙස භගන්දර,අර්ශස්, පරිකර්තිකා හෙවත් ගුදමග පැලීම, ගුද භ්‍රංශ හෙවත් ගුදමග පහත් වීම, ගුද කණ්ඩු හෙවත් කැසීම, ගුද පිඩකා, අර්බුද හෙවත් පිළිකා ආදිය හදුනාගත හැකිය.
මේ අතුරින් රෝගීන් වරදවා වටහාගන්නා රෝගතත්වයක් ලෙස අර්ශස් රෝගය හැදින්විය හැකිය.
මෙම සියළු රෝග වල රෝග ලක්ෂණ බොහෝදුරට සමාන බැවින් මේ සියල්ල අර්ශස් රෝගය ලෙස වරදවා වටහාගැනීම සිදුවේ.
මෙලෙස වරදවා වටහා ගැනීම නිසා රෝගීන් ප්‍රතිකාර ගැනීමට පැමිණීමේදී ගුදමාර්ගය ආශ්‍රිත කුමන රෝග තත්වයක් පැවතුනත් 'මට අර්ශස්' යැයි පැවසීමට පුරුදුවී සිටී. එවිට වෛද්‍යවරයා විසින් නිවැරදි රෝග පරීක්ෂාවක් සිදුකර එම රෝගතත්වය නිවැරදිව හදුනාගැනීම සිදුකළ යුතුය.
බොහෝ රෝගීන් මෙවැනි රෝග තත්වයක් පවතින විට එම ස්ථානය තමන්ට නොපෙනීමත් වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති අකමැත්තත් නිසා ස්වයං තීරණ වලට එළඹ වැරදි රෝග විනිශ්චයන් සිදුකර නිවරදි නොවන අර්ශස් රෝගය සදහා සුදුසු යැයි ලේබලයේ සදහන් ඖෂධ, ඖෂධ වෙළද සැලකින් ලබාගෙන භාවිතා කරයි. මෙම ඖෂධ තුල පොදුවේ මලබද්ධය සුවකිරීමට අදාල ඖෂධ වර්ග පවතින බැවින් රෝග තත්වයෙහි යම්කිසි අඩුවීමක් සිදුවේ. එවිට එම රෝග තත්වය සුවවී ඇතැයි වරදවා වටහා ගැනීම සිදුවේ. මේ නිසා පිළිකා වැනි දරුණු රෝග තත්වයන් පැවතුනත් එම රෝග වලට නිවැරදි ප්‍රතිකාරයක් සිදුනොවන නිසා එම රෝග තත්වයන් උත්සන්න වීම සිදුවේ. එමෙන්ම අර්ශස් වැනි රෝග තත්වයක් වුවත් නිවැරදි ප්‍රතිකාරයක් නොලැබීම නිසා බරපතල රෝග තත්වයක් බවට පත්විය හැක.
ආයුර්වේද සංහිතා ග්‍රන්ථ වලට අනුව අර්ශස් රෝගය මහා රෝගයක් ලෙසට දක්වා ඇත. එයට හේතුව මෙම රෝගය වේදනා ගෙනදෙන පීඩාකාරී රෝගයක් වීමයි. අර්ශස් රෝගය වැඩිහිටිඅය අතර බහුල වුවත් කුඩා දරුවෙකුට වුවද වැරදි ආහාර පුරුදු හා විහරණ නිසා රෝග තත්වයට ගොදුරුවීමේ හැකියාව ඇත.
💎ගුද මාර්ගය ආශ්‍රිත රෝග වල පොදු ලක්ෂණ,
🔹මලබද්ධය.(Constipation)
🔹මල පිටකිරීමේදී රැධිර වහනය, වේදනාව හා දැවිල්ල.
🔹විකෘති ගෙඩියක් වැනි නෙරුමක් ගුදමාර්ගයෙන් එළියට පැමිණීම.
🔹ගුද මාර්ගය ආශ්‍රිත කැසීම.
🔹සැරව හෝ ශ්ලේෂ්මල ස්‍රාවය.
💎අර්ශස් රෝග හේතු,
🔸මලබද්ධය දීර්ඝ කාලීනව පැවතීම.
🔸මලපහ කිරීමේදී තැටමීම.
🔸මල මුත්‍ර වේග දීර්ඝකාලීනව දරාසිටීම.
🔸උෂ්ණ තීක්ෂණ ආහාර දීර්ඝකාලීනව ගැනීම. (අන්නාසි, අච්චාරු, දෙල්, ඉස්සන්, දැල්ලන්, බල මාලු, ලුණුදෙහි, අබ විනාකිරි බහුලව යෙදූ ආහාර ආදිය)
🔸මිරිස් අධික ආහාර, කෘතිම රසකාරක බහුල ආහාර, ක්ෂණික ආහාර බහුල වශයෙන් ආහාරයට එකතුකර ගැනීම.
🔸අධික මානසික ආතතිය.
🔸තරබාරුකම.
🔸ගර්භණීභාවය.
🔸දීර්ඝ වේලාවක් වාඩිවී සිටීම.
🔸ගැස්සෙන වාහන වල වැඩි වේලාවක් ගමන් කිරීම.
🔸අධික ලෙස බර වැඩවල නිරත වීම.
🔸මධ්‍යසාර භාවිතය.
🔸දීර්ඝකාලීනව කැස්ස පැවතීම.
💎අර්ශස් රෝග ලක්ෂණ,
▪️මලපහ කිරීමේදී කුඩා ගැටිත්තක් හෝ ගෙඩියක් ගුද මාර්ගයෙන් එළියට පැමිණීම.
▪️ගුද මාර්ගය ආශ්‍රිත අධික වේදනාවක් ඇතිවීම.
▪️මලපහ කිරීමට පෙර හෝ මලපහ කිරීමෙන් පසු ගුද මාර්ගය තුළින් රුධිරය ගැලීමක් සිදුවීම.
▪️ගුද මාර්ගය ආශ්‍රිතව නිතර තෙත් ස්වරූපයක් ගැනීම.
▪️මලබද්ධ තත්වය හෝ සීදන්යාමේ තත්වයක් පැවතීම.
▪️මලපහ කිරීමෙන් පසු සම්පූර්ණයෙන් මල පිට නොවූ බව දැනීම.(තවදුරටත් මලපහ කිරීමේ අවශ්‍යතාව දැනීම.)
▪️ගුද මාර්ගය ආශ්‍රිත කැසීම.
♦️මෙම රෝග තත්වයට නිසි ආකාරයෙන් ප්‍රතිකාර නොකිරීම නිසා පසුකාලීනව ගුද භ්‍රංශ හෙවත් ගුද මග පහත්වීම (Re**al Pralapse), භගන්දර වැනි උපද්‍රව ඇතිවේ.
💎ප්‍රතිකාර,
මෙම රෝග තත්වය නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුවකර ගැනීමට හැකිය. රෝග තත්වය සහ පැවති කාලය අනුව ප්‍රතිකාර ලබාගතයුතු කාලසීමාව තීරණය වේ.
ප්‍රථමයෙන් රෝග තත්වය සදහා හේතු වූ හේතු කාරණා සොයා බලා එම හේතු කාරණා වලින් මිදීමට රෝගියාට උපදෙස් ලබාදිය යුතුය.
ඉන්පසු පවතින රෝග ප්‍රභේදය සලකා බලා සිදුකළ යුතු ප්‍රතිකාර පද්ධතිය තීරණය කළ යුතුය.
මෙහිදී අභ්‍යන්තර ඖෂධ හා බාහිර ඖෂධ ලෙස කොටස් 2 කින් ප්‍රතිකාර පද්ධතිය සමන්විත වේ.
අභ්‍යන්තර ඖෂධ ලෙස කෂාය, ගුලි, කල්ක, චූර්ණ ආදිය අවස්ථානුකූලව යොදාගනු ලැබේ.
බාහිර ඖෂධ ලෙස තෛල වර්ග හා ආලේප වර්ග භාවිතා කරනු ලැබේ.
විශේෂයෙන් පංච කර්ම ප්‍රතිකාර ලෙස විරේචන කර්ම, වස්ති කර්ම රෝග තත්වය අනුව අවස්ථානුකූලව සිදුකරනු ලැබේ.
💎මෙවැනි රෝගයකින් වැළකී සිටීමට හෝ රෝගී පුද්ගලයෙකුට සංකූලතා අඩුකර ගැනීමට උපදෙස්,
නිතරම,
1. කෙඳි සහිත එළවළු (කොහිල, කොහිල දළු, නෙළුම් අල, වැටකොළු, පතෝල, කෙසෙල් මුව ආදී)
2. හොඳින් ඉදුණු පළතුරු (අඹ, පේර, බෙලි, සීනි කෙසෙල්, බෙහෙත් නෙල්ලි, දෙළුම් ආදී)
3. දාන්‍ය වර්ග (නිවුඩු සහල්, මුං ඇට, කව්පි, කුරක්කන් ආදී)
4.පලා වර්ග (ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා, කංකුන් ආදී)
කෑමට එකතු කර ගන්න.
5. අධික උෂ්ණ ආහාර, කෘතිම රසකාරක බහුල ආහාර, අධික මිරිස් සහිත ආහාර හැකිතරම් අවම කරන්න.
6. බොහෝ වේලාවක් වැසිකිලියේ වාඩිවී සිටීමෙන් වළකින්න.
7. මලපහ කරන විට තැටමීමෙන් වළකින්න.
7. කැෆේන් අඩංගු පානවර්ගයන්ගෙන් ඈත්වී බෙලිමල්, රණවරා වැනි ඖෂධීය පානවර්ගයන්ට පුරුදුවන්න.
8.හාල් මැස්සන්, කුඩා මාළු කිරට ආහාරයට එකතු කරගන්න.
ප්‍රතිකාර සදහා අමතන්න.
ආයුර්වේද වෛද්‍ය ඩී.ආර්.ඩී.මනෝරි බාලසූරිය
BAMS ( ගෞරව)
ලිපඅ 16009
මනුසෙත ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය
තල්ගොඩපිටිය
ඉබ්බාගමුව
විමසීම්:- 0714332676/ 0776248118