01/06/2026
වාෂ්ප ස්වේද ( Steam Bath)
දහඩිය දැමීමට සලස්වා ශරීරය අභ්‍යන්තරයේ ඇති අපද්‍රව්‍ය බැහැර කරවීමේ ක්‍රියාවලිය සරලව "ස්වේදනය" ලෙස හඳුන්වා දිය හැකිය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රධාන ස්වේද කර්ම 13ක් දක්වා ඇති අතර මෙය පංචකර්ම සිදු කිරීමට ප්‍රථමව සිදු කරන පූර්ව කර්මයක් ලෙසද, සමහර අවස්ථා වලදී ප්‍රධාන කර්මයක් ලෙසද යොදා ගනු ලබයි.
එම ස්වේද කර්ම පහත පරිදි වේ.
1. සංකර ස්වේද
2. ප්‍රස්තර ස්වේද
3. නාඩි ස්වේද
4. පරිෂේක ස්වේද
5. අවඝාහ ස්වේද
6. ජේන්තාක ස්වේද
7. අශ්මඝ්න ස්වේද
8. කර්ෂු ස්වේද
9. කුටී ස්වේද
10. භූ ස්වේද
11. කුම්භීක ස්වේද
12. කූප ස්වේද
13. හෝලාක ස්වේද
මෙහිදී අප මූලිකවම විස්තර කරනු ලබන "වාෂ්ප ස්වේද (Steam Bath)" මෙහි දැක්වෙන "කුටී ස්වේද" යන ස්වේද කර්ම ගණයට අයත් වේ. මේ සඳහා භාවිතා වන උපකරණය "වාෂ්ප ස්වේද යන්‍ත්‍රය" නම් වේ. එය පුද්ගලයෙකු පහසුවෙන් ඇතුළු කළ හැකි ආකාරයට සකස් කරන ලද, ඖෂධීය දැව භාවිතයෙන් නිර්මාණය කරන ලද සංවෘත කුටීරයකි. මෙය සයනය කිරීමේ ඉරියව්වෙන් මෙන්ම හිඳ ගැනීමේ ඉරියව්වෙන් ද සකස් කළ හැකිය.
මෙම ප්‍රතිකාරයේදී අදාළ පුද්ගලයාගේ ශරීරයේ හිස සිට දෙපතුල් දක්වාම තෛල ආලේපය සිදු කොට, ඉන් අනතුරුව ඔහුගේ හිස පමණක් පිටතට සිටින සේ කුටීරය තුළට ඇතුළු කර ඖෂධීය වාෂ්පයකින් එය පුරවා එමඟින් නිශ්චිත කාලයක් පුරාවට ඔහුට දහඩිය දැමීමට සැලැස්වීම සිදු කරනු ලබයි. එම ඖෂධීය වාෂ්පය රෝගියාගෙන් රෝගියාට රෝගී තත්ත්වය අනුව වෙනස් වේ.
මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් පොදුවේ ලබා ගත හැකි ප්‍රතිඵල මෙසේ සඳහන් කළ හැකිය.
1. ශරීරය තුළ ඇති අපද්‍රව්‍ය දහඩිය හරහා බැහැර වීම
2. ශරීරයේ අනවශ්‍ය මේද කොටස් දහනය වීම
3. ශරීරය තුළ පවතින කැක්කුම්, වේදනා දුරු වීම
4. සන්ධි ආශ්‍රිතව පවතින තද ගතිය, ක්‍රියා කරවීමේ අපහසුතා දුරු වීම
5. ශරීරය තුළ පවතින වාතාදි රෝග සමනය වීම
6. ශරීරය සැහැල්ලු වීම
7. අලස බව දුරු වීම
8. ආහාර රුචිය වැඩි වීම
9. සම දීප්තිමත් වීම
10. ශරීරයේ මෘදු බවක් ඇති වීම
මෙම ප්‍රතිකාර ක්‍රමය වනාහි හුදෙක් රෝගීන්ගේ රෝග සුවපත් කිරීම සඳහාම පමණක් නොව නිරෝගී පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම, පවත්වා ගැනීම සහ තවදුරටත් වැඩිදියුණු කිරීම උදෙසා ද භාවිතා කළ හැකි විශිෂ්ඨ ප්‍රතිකාර ක්‍රමයකි.
සෞඛ්‍ය සම්පන්න සුව දිවියක් පවත්වා ගැනීම උදෙසා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ඔබටත් මෙම ප්‍රතිකාර ලබා ගැනීමට අපගේ සිද්ධක ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙතින් මේ වන විට පහසුකම් සලසා ඇත.
සටහන:
ආයුර්වේද වෛද්‍ය නිමේෂිකා මඩිතියවල